Oct 09, 2019

ඇඩ් වලට දත්ත භාවිතා කළාට ට්විටර් සමාව අයැදියි

ඉලක්කගත වෙළඳ දැන්වීම් සක්‍රීය කිරීම සඳහා ගිණුම් ආරක්ෂාව සඳහා පාරිභෝගිකයන් විසින් සපයන ලද ඊමේල් ලිපින සහ දුරකථන අංක "නොදැනුවත්ව" භාවිතා කිරීම පිළිබඳව ට්විටර් සමාගම සමාව අයැද ඇත.
පාරිභෝගිකයන් සිය තොරතුරු මේ ආකාරයෙන් භාවිතා කිරීමට අකමැති වුවද, තෙවන පාර්ශවීය අලෙවිකරුවන්ට සම්බන්ධතා තොරතුරු මත පදනම්ව ට්විටර් හි නිශ්චිත පාරිභෝගිකයන් වෙත ළඟා වීමට හැකි වී ඇතැයි ට්විටර් සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ට්විටර් කියා සිටියේ, “කොපමණ පිරිසකට බලපෑම් එල්ල වී ඇත්දැයි නිශ්චිතවම කිව නොහැකි” බවයි.

මෙම ගැටළුව සොයාගත් දිනය පිළිබඳ ට්විටර් සමාගම හෙළිදරව් කර නොතිබුණද,  දින 21 කට පෙර, එනම් “සැප්තැම්බර් 17 වන විට” මෙම ගැටළුව විසඳා ඇති බව පැවසීය.

සමාගම තවදුරටත් කියා සිටියේ “වෙළඳ දැන්වීම් සඳහා ආරක්ෂාව හෝ ආරක්ෂක අරමුණු සඳහා එකතු කරන ලද දුරකථන අංක හෝ ඊමේල් ලිපින තවදුරටත් භාවිතා නොකරන” බවයි.

යුරෝපයේ සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසි (GDPR) යටතේ, දත්ත භාවිතා කිරීමට අදහස් කළ අරමුණ හැර වෙනත් අරමුණක් සඳහා එය භාවිතා කරන්නේ නම් ඒ පිළිබඳව පාරිභෝගිකයන්ට දැනුම් දිය යුතුය.

ට්විටර් සමාගමට අනුව දිනපතා ලොවපුරා මිලියන 139 ක් සිය සේවාව භාවිතා කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top