Dec 17, 2019

ස්ලිට් හි වංචාවට වගකිවයුත්තෝ සොයයි: අධ්‍යක්ෂවරුත් අමාරුවේ Featured

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබූ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට මුදල් ලබා ගැනීමේ අරමුණින් පිහිටුවා තිබූ තොරතුරු තාක්‍ෂණ ආයතනය (ස්ලිට්) වංචනික ලෙස පවරාදීම සම්බන්ධයෙන් කඩිනම් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය ලේකම්වරයා හරහා ලිඛිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමට කටයුතු යොදා තිබේ.

ඊයේ (16) මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ ප්‍රධාන කාර්යාලය නිරීක්ෂණය කළ ගුණවර්ධන අමාත්‍යවරයා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල තුළ සිදු වී ඇති වංචා, දූෂණ, අක්‍රමිකතා පිළිබඳ සහ රාජ්‍ය දේපළ අවභාවිතය පිළිබඳ හිටපු අමාත්‍ය අධිනීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා කරුණු රැසක් හෙළිදරව් කර ඇති බවද මාධ්‍ය වෙත කියා සිටියේය.

වසර 1998 දී මහපොළ අරමුදලින් රුපියල් මිලියන 373 ක මුදලක් යොදා මාලබේ ප්‍රදේශයේදී ස්ලිට් ආයතනය පිහිටුවා ඇති අතර එය 2015 වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස දියුණු කර තිබේ.

එහි ගොඩනැගිලි හා යටිතල පහසුකම්වල වටිනාකම රුපියල් මිලියන 20000 ඉක්මවා තිබු බවත් ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා හෙළිකර තිබිණි.

ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම සහ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරමින් ඒ මහතා පවසා තිබුණේ 2015 දී එවකට එම ආයතනයේ පාලන අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් විසින් නීති විරෝධී ලෙස මහපොළ භාරකාර මණ්ඩලයේ අනුමැතියකින්ද තොරව ස්ලිට් ආයතනය පවරා ඇති බවයි.

මෙම පැවරීමේදී රුපියල් මිලියන 408 ක මුදලක් මහපොළ වෙත ගෙවූ බවට ගිවිසුමක් අත්සන් කර ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වාදී තිබිණි.

එහෙත් මෙම පැවරුණු වත්කම්වල නියම වටිනාකම රුපියල් මිලියන 28000 ඉක්මවන බවද ඔහු එහිදී හෙළිකර තිබිණි.

තමා උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී මේ පිළිබඳව සොයා බැලූ බවද වංචනිකව පැවරීම් සිදුකර ඇති නිසා යළි මහපොළ අරමුදල වෙත එම ස්ලිට් ආයතනය පවරා ගැනීමට ඇමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ නමුත් මුදල් ඇමැතිවරයාගේ විරෝධය හේතුවෙන් සම්මත කිරීමට නොහැකිවූ බවද කියා සිටියේය.

කවුද අධ්‍යක්වරු ?
මහාචාර්ය ලක්ෂ්මන් එල්. රත්නායක මහතා එම ආයතනයේ වර්තමාන සභාපතිවරයා ලෙසත්, මහාචාර්ය ලලිත් ගමගේ මහතා ප්‍රධාන විධායකවරයා ලෙසත් කටයුතු කරයි.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස තිලාන් එම්. විජේසිංහ, රෙෂාන් දේවපුර, ජෙහාන් අමරතුංග හා මහාචාර්ය මහේෂා කපුරු බණ්ඩාර යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය ද වගකිවයුතු බව හෙළිව ඇති අතර ඉදිරියේදී ඔවුන්ගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බව පැවසේ.

SLIIT directorsස්ලිට් අධ්‍යක්ෂක මණ්ඩලය

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top