Dec 20, 2019

SLIIT වංචාවට හවුල් 2ක් ICTA අධ්‍යක්ෂ මණ්ඩලයට  Featured

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබූ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට මුදල් ලබා ගැනීමේ අරමුණින් පිහිටුවා තිබූ තොරතුරු තාක්‍ෂණ ආයතනය (ස්ලිට්) වංචනික ලෙස පවරාගත් පුද්ගලික සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරියා හා එහි අධයක්ෂවරයකු  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත්කර තිබේ.
මෙසේ පත්කර ඇත්තේ මහාචාර්ය ලලිත් ගමගේ (ප්‍රධාන විධායක) හා  රෙෂාන් දේවපුර යන මහත්වරුන්ය.
 
වසර 1998 දී මහපොළ අරමුදලින් රුපියල් මිලියන 373 ක මුදලක් යොදා මාලබේ ප්‍රදේශයේදී ස්ලිට් ආයතනය පිහිටුවා ඇති අතර එය 2015 වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස දියුණු කර තිබේ.
 
කෙසේවුවද, ස්ලිට් ආයතනය අදාළ සමාගම පවරාගෙන තිබුණේ රුපියල් මිලියන 408 ක මුදලක් මහපොළ වෙත ගෙවූ බවට ගිවිසුමක් අත්සන් කිරීමෙන් බවද පැවසේ.
 
හිටපු අමාත්‍ය අධිනීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම සහ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරමින් ඒ මහතා පවසා තිබුණේ 2015 දී එවකට එම ආයතනයේ පාලන අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් විසින් නීති විරෝධී ලෙස මහපොළ භාරකාර මණ්ඩලයේ අනුමැතියකින්ද තොරව ස්ලිට් ආයතනය පවරා ඇති බවයි.
 
එහි හිටපු අධ්‍යක්ෂවරුන් පිරිසක් බලහත්කාරයෙන් ඉවත්කර ඇති බවද පැවසේ.
 
විජේදාස රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කළ හෙළිදරව්ව අද දෙරණ නාලිකාව මෙසේ වාර්තා කර තිබිණි.
 
 
මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමයේ දූෂිතම ලේකම්වරයකු වූ හා වත්මන් ආණ්ඩුවේද ප්‍රබල ලේකම් ධූරයක් දරනු ලබන ලේකම්වරයකු මේ පත් කිරීම් පිටුපස සිටින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. 
 
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) හි අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වන අතර එහි සභාපතිවරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත්කර තිබේ.
 
එහි සෙසු සාමාජිකයන් වන්නේ මනෝ සේකරම්, ආචාර්ය සංජය වීරවර්ණ, මනෝරි උනන්බුව හා වසන්ත දේශප්‍රිය යන අය වෙති.
 
ICTA1 670px 19 12 20
 
සබැඳි පුවත්
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top