Jan 06, 2020

සෙලාන් වෙතින් පළමු වරට ඩිජිටල් ගෙවීම් පදනමක්

පාරිභෝගික අත්දැකීම් සහ පහසුව වැඩිදියුණු කිරීම සඳහා සැමවිටම තම නිෂ්පාදන සහ සේවාවන් හැඩගන්වන සෙලාන් බැංකුව මෙරට ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ‘Seylan Merchant Portal’ නමින් පරිපූර්ණ ඩිජිටල් ගෙවීම් පදනමක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ.

පුද්ගල රුචිකත්වයට අනුව එකිනෙකට වෙනස් අවශ්‍යතාවන්වලට පහසුවෙන් සකස් කළ හැකි මෙම ගෙවීම් පදනම, දිනක් ඇතුළත සක්‍රීය කිරීමට හැකිවීම විශේෂත්වයකි. මෙතුලින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගනුදෙනු වෙනත් තලයකට ඔසවා තබනු ලැබේ.

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නංවාලීම සඳහා අතදීම යුගයේ අවශ්‍යතාවක් බව හඳුනාගෙන සිටින සෙලාන් බැංකුව, එම අරමුණ වෙනුවෙන් නිරන්තරයෙන් නව හඳුන්වාදීම් සිදුකිරීමට කටයුතු කරයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි, ආරක්ෂිත අන්තර්ජාල ගනුදෙනු සඳහා වඩාත් සුදුසු නව හා වැඩිදියුණු කළ ගෙවීම් වේදිකාවක් ලබා දීමෙන් සෙලාන් බැංකුව නව්‍ය ඩිජිටල් පරිවර්තනයන් තුළින් පාරිභෝගික පහසුව උපරිම කිරීමට කටයුතු කරයි.

මෙම ඩිජිටල් වැඩසටහන තුලින්, වෙබ් අඩවියක් ඇති හෝ නොමැති, අන්තර්ජාල ගෙවීම් භාරගැනීමේ ක්‍රමවේදයක් ඇති හෝ නොමැති, සමාජ මාධ්‍ය වල ව්‍යාපාරික පිටු පවත්වාගෙන යන පුද්ගලයන් මෙන්ම නව ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගැනීමට සූදානමින් සිටින අලෙවිසැල් හිමිකරුවන් වැනි අයටද විශාල පහසුවක් සැලසීමට සෙලාන් බැංකුව බලාපොරොත්තු වෙයි.

බැංකු ක්ෂේත්‍රය තුළ ඩිජිටල් වාණිජ සේවාවන් සම්බන්ධයෙන් පෙරමුණේ සිටින බැංකුවක් ලෙස සෙලාන් බැංකුව, මෙරට ව්‍යාපාරිකයන්ට නවීන ඩිජිටල් ගනුදෙනු කරගෙන යාම සඳහා අවශ්‍ය මෙවලම් ලබාදී ඔවුන් බලගැන්වීමට කටයුතු කරයි. මෙම නව ඩිජිටල් පදනම රූපලාවණ්‍යාගාර, ආහාරපාන බෙදාහැරීම් සේවා, කුඩා පරිමාණ තානායම්, සමාජ මාධ්‍ය පදනම් කරගත් ව්‍යාපාර ආදී කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මෙන්ම වඩාත් සාම්ප්‍රදායික පාසල්, රක්ෂණ සමාගම්, රථවාහන සේවා සමාගම් සහ තවත් ආයතන වර්ග රාශියක් සඳහා ප්‍රයෝජනවත් වන ආකාරයට සැලසුම් කර ඇත්තේය.

කාඞ්පත් මගින් ගෙවීම් භාරගැනීමට ප්‍රමාණවත් තලයක නොමැති සහ භාණ්ඩ ලැබුණු විට මුදල් ලබාදීමේ ක්‍රමය (cash on delivery) භාවිතා කිරීමේදී මතුවන අවදානම් වලට නිරන්තරයෙන් මුහුණ දෙන ව්‍යාපාරිකයන්ට මෙය අතිශයින් වැදගත් වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ප්‍රධානී චමින්ද සෙනෙවිරත්න මහතා මෙසේ අදහස් දැක්වී ය. "ව්‍යාපාරිකයන්ට වත්මන් වෙළඳපොළ ප්‍රවණතා තුළ සාර්ථක වීම සඳහා වැදගත් වන බැංකු සේවා හා විසඳුම් හඳුන්වා දීමේ වැදගත්කම අප හොඳින් හඳුනනවා. මෙය පාරිභෝගිකයන්ගේ පහසුව මූලික කරගනිමින්, වෙළඳාම ඩිජිටල් අවකාශයන් වෙත මාරුවෙමින් පවතින යුගයක්. මෙම වෙනස හඳුනා ගනිමින් සෙලාන් බැංකුව මේ ආකාරයට පරිපූර්ණ ඩිජිටල් ගෙවීම් පදනමක් හඳුන්වා දීමට පියවර ගත්තා. මෙමගින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන්ට තම ව්‍යාපාරයේ ස්වභාවය හා අවශ්‍යතා අනුව ගෙවීම් භාරගැනීමට අවස්ථාව ලැබෙනවා. මෙම සේවාව විශේෂයෙන් ස්ථාපිත කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මෙය වියදම් අඩු, එක් දිනකින් සක්‍රීය කරගත හැකි ක්‍රමයක්. මෙවැනි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දෙනු ලබන්නේ ප්‍රථම වරටයි. මෙම සේවාව ඔස්සේ පාරිභෝගිකයන් හා ව්‍යවසායකයන් අතර නව සම්බන්ධතාවක් නිර්මාණය කරමින් ඔවුන්ට උපරිම පහසුවක් අත්පත් කරදීමට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදීත් මෙවැනි නවීන සේවාවන් හඳුන්වා දීමටත්, පවතින සේවාවන් වැඩිදියුණු කිරීමටත් සෙලාන් බැංකුව නිරන්තරයෙන් සූදානම්.”

ජංගම දුරකථන සඳහා මෙන්ම පරිගණක සඳහාද භාවිතා කළ හැකි ක්‍රමයක් වන Seylan Merchant Portal මගින් Visa සහ MasterCard ගෙවීම් භාරගත හැක. එක් වරක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව මෙය අනාගතයේ අවශ්‍ය පරිදි වැඩිදියුණු කරගත හැකි වේ. පහසුවෙන් භාවිතා කළ හැකි මෙය ගෙවීම් සම්බන්ධ පරිපූර්ණ වාර්තා ලබාදීමට සමත් ය. 256 Bit SSL මට්ටමින් සහ PCI සහතික ලත් සුරක්ෂිත ගෙවීම් ක්‍රමයක් වන මෙය සඳහා පැය 24 පුරා තාක්ෂණික සහය සේවාවන් හිමිවන අතර, සේවාව භාවිතා කරන්නන් මුහුණ දෙන  ඕනෑම ආකාරයේ ගැටලූවකට පිළිතුරු හා මගපෙන්වීම් ලබාදීම සඳහා පාරිභෝගික සහය සේවා අංශයක්ද විවෘතව පවතී. මෙම ක්‍රමවේදය ව්‍යවසායකයන්ට තම වෙබ් අඩවි සඳහා පහසුවෙන් සැලසුම් කර භාවිතා කළ හැකි ගෙවීම් පදනමක් වීම විශේෂත්වයකි. ඉතාම පහසුවෙන් ගනුදෙනු සම්පූර්ණ කළ හැකි මෙම සේවාව තුළ එකවර ගෙවීම් කිහිපයක් වුවද භාරගත හැකි අතර, පාරිභෝගිකයන් වෙත සිහිකැඳවීම් යොමුකිරීම සහ පෙර-ඇණවුම් භාරගැනීම ආදියද සිදුකළ හැක. ඊමේල් හෝ SMS පණිවිඩ හරහා ගෙවීම් සම්බන්ධ කටයුතු සිදුකළ හැකි අතර  ඕනෑම පණිවිඩ යෙදුමක් (Messenger App) හරහා සුරක්ෂිත ගෙවීම් සබැඳි (Payment links) යැවිය හැකි වේ. එමෙන්ම දිනපතා, සතිපතා, මාස්පතා සහ වාර්ෂිකව ගනුදෙනු වාර්තාවන් පරීක්ෂා කිරීමේ අවස්ථාව ලබා දී ඇත. මීට අමතරව ගිණුම්කරණ ක්‍රියාවලිය තවත් පහසු කරමින්, මූල්‍ය පරිපාලක හෝ අයකැමි වැනි විවිධ මට්ටම් ඔස්සේ ගෙවීම් කටයුතු කළමනාකරණය වඩාත් විධිමත්ව සිදුකිරීම සඳහා වාර්තා නිකුත් කිරීමේ හැකියාවද මෙම සේවාව සතු ය.

සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, අනාගත ඩිජිටල් ආර්ථිකයකට මුහුණ දීමට හැකිවන පරිදි ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින අතර ‘Seylan Merchant Portal’ යනු එහි සුවිශේෂී ඉදිරි පියවරකි. මෙම සේවාව සහ සෙලාන් බැංකුවේ අනෙකුත් සේවාවන් සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා www.seylan.lk වෙත පිවිසෙන්න.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top