Feb 03, 2020

ප්‍රකට Caravan Fresh ට සීල් තබයි ! : පාරිභෝගික අධිකාරිය පඹගාලක Featured

කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් වත්තල හැඳල ප්‍රදේශයේ ගබඩාවකින් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මෙම වැටලීම පාරිභෝගික කටයුතු අධිකාරිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෝගය ඇතිව සිදුකර තිබේ.

මෙසේ වටලා මෙම කල් ඉකුත්වූ ආහාර සොයාගෙන ඇත්තේ මදීනා ෆුඩ්ස් පෞද්ගලික සමාගම නම් ආහාර නිෂ්පාදනය කරන සහ අවන්හල් ජාලයක් පවත්වා ගෙන යන ආයතනයකිනි.

වැටලීම සිදු කළ අවස්ථාව වන විට කල් ඉකුත්වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව ලේබල් අලවමින් සිට ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය.

එලෙස තොරතුරු වෙනස් කරන ලද සහ කල් ඉකුත්වූ බේකරි අමුද්‍රව්‍ය, කේක් සෑදීමට භාවිත කරන ලද අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් දාහතාහාමාරක් එහි තිබී සොයා ගෙන තිබේ.

කල් ඉකුත්වූ කස්ටඩ් පවුඩර්, පාන් සෑදීමට භාවිත කරන වෝල් කෝනර්, කේක් සැරසිලි අමුද්‍රව්‍ය, වැනිලා සහ ඇපල් බීම වර්ග සොයා ගෙන ඇති අතර එම ද්‍රව්‍ය ඉකුත් වසරේ මැයි 13 වැනිදාත් දෙසැම්බර් 06 වැනිදාත් අතර කාලය තුළ කල් ඉකුත්වී තිබේ.

මෙරට ප්‍රසිද්ධ කැරවෑන් ෆෙරෙෂ් ( Caravan Fresh) නැමැති අවන්හල් ජාලය පවත්වාගෙන යනු ලබන්නේද මදීනා ආයතනය විසිනි.

මදීනා කුණු බඩු රට පුරා පාරිභෝගික අධිකාරිය පඹගාලක

මේ තත්ත්වය මත පාරිභෝගික අධිකාරීය බරපතල ආරවුලක පැටලී සිටින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ අදාළ සමාගම විසින් මෙසේ කල් ඉකුත් වූ ද්‍රව්‍ය තව කොතෙක් බෙදාහැර ඇත්ද යන්න නිෂ්චිත ලෙස සොයා ගැනීමට නොහැකිවීම නිසාය.

එසේම, කැරවෑන් ෆෙරෙෂ් නම් අවන්හල් ජාලයට අයත් අවන්හල් 25ක් පමණ තිබෙන අතර ඒවා සියල්ලෙහි අලෙවි කරනු ලබන ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිතා කරනු ලබන්නේ අදාළ මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගම විසින් ගෙන්වනු ලබන අමුද්‍රව්‍ය බැවින් ඒවා සියල්ලටම සීල් තබන්නේද යන ගැටලුව ද මතුව ඇති බව පැවසේ.

විමර්ශනවලදී හෙළීවී ඇත්තේ, ආහාර නිෂ්පාදනය හා අවන්හල් ජාලය පවත්වාගෙන යන මදීනා ආයතනය ඊට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය අමරිකාව, ඩුබායි සහ ජර්මනිය යන රටවලින් ආනයනය කර වෙළඳපොළට සහ ප්‍රධාන හෝටල්වලට සපයා ඇති බවයි.

අදාළ සමාගමට එරෙහිව නඩු පැවරීමට නියමිත අතර භාණ්ඩ සහිත ගබඩාවට මුද්‍රාතබා පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

මෙවැනි තොරතුරු 1977 හදිසි ඇමතුම් අංකයට ලබා දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top