Feb 16, 2020

එයාර්බස් මගඩියේ සල්ලි ගිය ගිණුම් මෙන්න ! Featured

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි - කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සම්බන්ධ දූෂිත ගුවන් බස් ගණුදෙනුවට අදාල මූල්‍ය ජාලය පිළිබඳ නව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ.

බලධාරීන්ගේ අවධානය මගහැර සිටීමේ අරමුණෙන් සිදු කර තිබූ මෙම සංකීර්ණ මූල්‍ය ජාලයේ තොරතුරු අනාවරණය කරන 'ද සන්ඩේ මෝනිං' සතිඅන්ත පුවත්පත විසින්, එහි තොරතුරු සරලව නිරූපණය කර ඇත්තේ මෙලෙසයි.

Airbus Infograp

'ද සන්ඩේ මෝනිං' පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ වාර්තා කරයි :

EADS හෙවත් එයාර්බස් සමාගම හා බිස්සොලූෂන්ස් (BizSolutions) අතර ඇති වූ ගිවිසුමට අනුව, ඇමෙරිකානු ඩොලර් මිලයනයක් වටිනා මෙහි පළමු ගෙවීම 2013 නොවැම්බර් 13 වන දින BizSolutions වෙත සිදුකර ඇති අතර, මෙහි ගෙවීම වන තවත් ඇමෙරිකානු ඩොලර් මිලියනයක් 2013 දෙසැම්බර් 02දා සිදු කර ඇත.

Airbus France SAS ලෙස එකල හැඳින්වුණු එයර්බස් ප්‍රංශ සමාගම වෙත මේ සම්බන්ධයෙන් BizSolutions විසින් යැවූ ඉන්වොයිසි අනුව, ඉහත ගෙවීම් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා කලාපය තුළ නව A330 ගුවන්යානා 6 ක් හා නව A350 ගුවන් යානා 4 ක් මිලට ගැනීම හා නව යානා තුනක් බදු පදනම මත ලබා ගැනීම වෙනුවෙනි.

සිංගප්පූරු බැංකු ගිණුම් තුනකින් චන්ද්‍රසේනට සල්ලි

BizSolutions විසින් පවත්වාගෙන යනු ලබන, සිංගප්පූරු ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ගිණුම් තුනකින් අංක 06323610119179 දරණ චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුමකට මුදල් යොමු කර ඇති අයුරු 'ද සන්ඩේ මෝනිං' පුවත්පතේ දත්ත

නිරූපණයේ දැක්වෙන්නේ මෙලෙසිනි :

වසර 2013 සැප්තැම්බර් 23 වන දින අංක 0102798125 දරණ ගිණුමෙන් ඕස්ට්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුවේ (CommBank) චන්ද්‍රසේනගේ ගිණුමට සිංගප්පූරු ඩොලර් 25,000 තැන්පත් කර ඇත.

එමෙන්ම, වසර 2013 - 2014 අතර කාලය තුළ අංක 0170807045 දරණ ගිණුමේ සිට චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුමට අවස්ථා 5කදී මුදල් තැන්පත් කිරීම් සිදු කර ඇත. 2014 අප්‍රේල් 03දා ඇමෙරිකානු ඩොලර් 100,000 ක් ද, 2014 පෙබරවාරි 28දා ඇමෙරිකානු ඩොලර් 100,000 ක් ද, 2014 ජනවාරි 17දා ඇමෙරිකානු ඩොලර් 100,000 ක් ද, 2013 ඔක්තෝබර් 23දා ඇමෙරිකානු ඩොලර් 30,000 ක් ද 2013 අගෝස්තු 16දා ඕස්ට්‍රේලියානු ඩොලර් 10,000ක්ද මෙලෙස තැන්පත් කර ඇත.

තවද, අංක 0107130602 දරණ ගිණුමේ සිට චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුමට තවත් අවස්ථා 4කදී මුදල් තැන්පත් කිරීම් සිදු කර ඇත. 2014 සැප්තැම්බර් 18දා යූරෝ 199,965 ක් ද, 2014 අගෝස්තු 07දා ඕස්ට්‍රේලියානු ඩොලර් 200,000 ක් ද, 2014 ජූලි 08දා යූරෝ 100,000 ක් ද, 2014 මැයි 09දා යූරෝ 100,000 ක් ද මෙලෙස තැන්පත් කර ඇත.

චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුම (06323610119179) විසින් කපිල චන්ද්‍රසේන එහි පසුඅයිතිය හිමිවන්නා (beneficiary customer) ලෙසත්, අංක 47, බාන්ස් පෙදෙස, කොළඹ 7 යන්න එහි ලිපිනය (beneficiary address) ලෙසත් ලැයිස්තුගත කර ඇත.

දන්නෑ කියන්න බෑ

මෙම මුදල්වලින් කිසිවක් ශ්‍රී ලංකාවට ඇතුල් වී ඇති බවට ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් විමර්ශකයින්ට හමු නොවූ නමුත්, ඇණවුම් සහ පසුඅයිතිය හිමිවන්න පාරිභෝගික ලිපිනයන් ද්විත්වයම සමාන බැවින් මෙම මුදල් හුවමාරුව පිළිබඳව තමා නොදන්නා බව චන්ද්‍රසේනට පැවසිය නොහැකි බව විමර්ශකයන් පවසයි.

ලංකාවේ උපදේශන සේවය

වසර 2013 මාර්තු මාසයේදී EADS ලෙස හැඳින්වෙන යුරෝපා ගුවන්යානා ආරක්ෂක හා අභ්‍යවකාශ සමාගම (European Aeronautic Defence and Space Company) විසින් එවකට ශ්‍රී ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකගේ ප්‍රධානත්වයෙන් යුත් පරිගණක උපදේශන හා සංවර්ධන සමාගමක් වන BizSolutions සමාගමේ සේවා ලබාගෙන තිබේ.

EADS යනු ගගනගාමී, ආරක්ෂක සහ අභ්‍යවකාශ ක්ෂේත්‍ර වල යුරෝපා කලාපයේ නායකයා වන EADS සමූහයේ කොටසක් වන අතර, එම සමාගම විසින් එයාර්බස් හි වාණිජ ප්‍රචාරණ ව්‍යාපාර සම්බන්ධයෙන් ද සහාය ලබා දෙයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ එයාර් බස් ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සඳහා 2013 මාර්තු 29දා EADS සහ BizSolutions අතර උපදේශක ගිවිසුමක් අත්සන් කළ අතර මෙම ගිවිසුමට BizSolutions හි නීති නියෝජිතවරිය ලෙස විජේනායක මහත්මියද, EADS හි ආයතනික උප සභාපති ජෝන්-පියෙර් ටලමෝනි මහතා විසින් ද අත්සන් තබා ඇත.

වසර 2012 ඔක්තෝබර් 09දා බෲනායි රාජ්‍යයේ සංස්ථාගත කරන ලද BizSolutions හි පළමු අධ්‍යක්ෂකවරිය ලෙද පත් කර ඇත්තේ විජේනායක මහත්මියයි. චන්ද්‍රසේන සහ විජේනායක අතර විවාහ සබඳතාවය හැර, ශ්‍රීලංකන් ගුවන් සේවය හා BizSolutions අතර කිසිඳු නෛතික සබඳතාවයක් නොතිබුණු බවට ලිපිලේඛන වලින් ඔප්පු වන බව 'ද සන්ඩේ මෝනින්' පුවත්පත සඳහන් කරයි.

එවකට එයාර්බස් සමාගමේ මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයේ ජ්‍යෙෂ්ට අලෙවි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සෝමාස් අප්පාවු විසින් චන්ද්‍රසේනගේ ඉල්ලීම පරිදි විජේනායක හට නව සමාගම පිහිටුවීමට සහය දී ඇති බවට රහස් පොලිසිය විසින් අනාවරණය කර ඇතැයි ද 'ද සන්ඩේ මෝනින්' වැඩිදුරටත් සඳහන් කරයි. අප්පාවු යනු එයාර් මොරිෂස් හි වත්මන් ප්‍රධාන විධායක නිලධාරියාද වේ.

චන්ද්‍රසේන සහ එයාර්බස් සමාගම අතර හුවමාරු වූ විද්‍යුත් තැපැල් මගින් පැහැදිලිවම පෙනී යන්නේ විජේනායකගේ BizSolutions ගිණුමේ තැන්පත් කර ඇති මුදල් උපදේශන ගාස්තු ලෙස තැන්පත් කර ඇති බවයි.

( මූලාශ්‍රය : 'ද සන්ඩේ මෝනින්')

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top