Mar 03, 2020

ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට රංජිත් රූබසිංහ දැම්මට ප්‍රබල විරෝධයක් Featured

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන SLT Campus හි ප්‍රධාන විධායක නිලධාරි තනතුර හොබවන රංජිත් රූබසිංහ මහතාව ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම සම්බන්ධයෙන් එහි වෘත්තීය සමිති විරෝධය දක්වා තිබේ.

මහා භාණ්ඩාගාරයේ ලේකම් විසින් මෙම පත් කිරීම සිදුකර ඇතැයි පැවසේ.

රූබසිංහ මහතා සාමාජිකත්වය දරණ විදුලි සංදේශ ඉංජිනේරු සංගමය ඇතුළු සියලුම වෘත්තීය සමිති හා සේවකයින් මොහුගේ පත්වීමට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට ලිපි යවා ඇතැයි ද වාර්තා වේ.

මේ ලිපි යවා කලක් ගතවී ඇතත් ඒ සම්බන්ධව රජය හෝ දේශපාලන අධිකාරිය මෙතෙක් පියවර නොගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති මැතිවරණයට පෙර වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට සූදානම්වන බවද වාර්තා වේ.

රූබසිංහ මහතා 2003 වසරේදී ටෙලිකොම් සමාගමට ඉංජිනේරුවරයෙකු ලෙස ලද පත්වීමද වංචනික එකක් බව ජනපතිට හා අගමැතිට යැවූ ලිපිවල දැක්වෙන බව පැවසේ.

මොහු එයාර් ලංකා සමාගමේ රෑටත් ටෙලිකොම් සමාගමේ දවල්ටත් ආයතන දෙකේම එකවර රැකියාව කරමින් වේතන දෙකක් එකවර මාස කීපයක් ලබාගෙන තිබියදී එයාර් ලංකා සමාගමෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

මෙම කාරණාව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මානව සම්පත් අංශයටද වාර්තා වී ඇති අතර එම අවස්ථාවේ මෙහෙයුම් නිලධාරි ක්‍රිස්ටි අල්විස් මහතාගේ අනුකම්පාව මත රූබසිංහ මහතා නාමාවලි සේවාව යටතට මොහුව අනුයුක්ත කළ බවද වෘත්තීය සමිති කියා සිටී.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී දේශපාලන බලය පාවිච්චි කරමින් හොර පාරෙන් නාමාවලි අංශයේ නියෝජ්‍ය සාමන්‍යධිකාරී තනතුර සඳහා ප්‍රධාන විධායක නිලධාරීගේ චක්‍රලේඛ අංක 56/2005, 29/6/2005 දිනැති චක්‍රලේඛයක් නිකුත් කළ බවත්, පළමු චක්‍රලේඛය නිකුත් කල පසු අවුරුදු 3 ක සේවා කාලයක් සපුරා නොතිබූ බැවින්, මොහුට එම තනතුර ලබා දීමේ අරමුණින්ම කාලය සම්පුර්ණ වීමෙන් පසු නැවත වරක් ප්‍රධාන විධායක නිලධාරීගේ චක්‍රලේඛ අංක 25/2006, 5/5/2006 දිනැති චක්‍රලේඛයක් නිකුත් කළ බවටත් වෘත්තීය සමිති චෝදනා කරති.

ඉන් පසුව ප්‍රධාන විධායක නිලධාරීගේ චක්‍රලේඛ අංක 40/2006, 6/7/2006 දිනැති චක්‍රලේඛය මගින් ඔහුට එම තනතුර ලබාදී ඇතැයිද පැවසේ.

ඔහු සම්බන්ධවූ තවත් වංචා කිහිපයක්ම මේවන විට හෙළිව ඇති අතර ඉදිරියේදී අප ඒ සම්බන්ධයෙන් හෙළිකරන්නෙමු.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top