Mar 10, 2020

චීනයෙන් ගෙන්වන රියල් ජම්බෝ පීනට්ස් තහනම් කරයි Featured

රේඩියන්ට් මාර්කටිං පුද්ගලික සමාගම විසින් ගෙන්වා බෙදාහරින රියල් ජම්බෝ පීනට්ස් (Real Jumbo Peanuts) බෙදා හැරීම අධිකරණය මගින් අත්හිටුවා තිබේ.

ඒ පොදු නාමයට ඉදිරියෙන් වැරදි හැඟීමක් ඇති විය හැකි ආකාරයෙන් නියම (Real) යන වචනය සඳහන් කරමින් ජම්බෝ රටකජු පැකට් ලේබල් කිරීම නිසාය.

ආහාර පනත යටතේ මේ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක D24273/05/19 යටතේ පනවා තිබූ නඩුවක වරද පිළිගත් එම සමාගම හා එහි අධ්‍යක්ෂවරුන් වන අරුණාසලම් සිවනාදන්, රාජනී සිවනාදන් හා අරුණාසලම් ඉලංගකෝන් යන අයට රුපියල් 10,000/- බැගින් වූ දඩයක්ද මහේස්ත්‍රාත් අධිකරණය නියමකර තිබේ.

එම සමාගම විසින් නියම (Real) යන වචනය ඉවත්කරමින් සකසන ලද පැකට්ටුවක්ද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදී නියම (Real) යන වචනය නොමැතිව රියල් ජම්බෝ පීනට්ස් (Real Jumbo Peanuts) වෙළඳ පොලට ඉදිරිපත් කිරීමට ද පොරොන්දු වී තිබේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් එම සමාගමේ අධ්‍යක්ෂවරයකු වන අරුණාසලම් ඉලංගකෝන් මහතාගෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසූ විට ඔහු එවැනි අධිකරණ තීන්දුවක් ලැබුණු බව පිළිගත්තේය.

එසේම අප ඔහුගෙන් නියම (Real) යන වචනය නොමැතිව ජම්බෝ රටකජු වෙළඳ පොළට නිකුත්වන්නේ කවදාදැයි විමසූ විට ඔහු කියා සිටියේ ජම්බෝ රටකජු ගෙන්වන්නේ චීනයෙන් බවත්, මේ වන විට ඒවා ඇනවුම්කර ඇතත් තවම ඒවා ලැබී නැති නිසා එම කජු ලැබුණු පසු අලුත් පැකට්ටුවේ රටකජු බෙදා හැරීම සිදුකරන බවයි.

කෙසේවුවද, අදාළ නඩු තීන්දුව ලැබී මේවන විට සතියකට වඩා වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් එම සමාගම සතු වෙබ් පිටුවේද තවමත් ප්‍රදර්ශනය කර ඇත්තේ පැරණි පැකට්ටුව වේ.

JumboPN1 670px 20 03 10

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top