Mar 11, 2020

ග්ලෝබල් ෆිෂරීස් ජාත්‍යන්තර මත්ස්‍ය ජාවාරමක ! Featured

ග්ලෝබල් ෆිෂරීස් (Global Fisheries) නම් සමාගම ජාත්‍යන්තර මත්ස්‍ය ජාවාරමක නිරතවන බවට දික්ඕවිට ධීවර ජනතාවගෙන් චෝදනා එල්ලව තිබේ.

ඔවුන් කියා සිටින්නේ එම සමාගමට අයත් යාත්‍රා ශ්‍රී ලංකාවේ රජය යටතේ ලියාපදිංචි කර ඇති බවත්, ඔවුන් දික්ඕවිට වරායෙන් ගැඹුරු මුහුද වෙත ගොස් විදේශීය නීති විරෝධී යාත්‍රාවලින් අල්ලා ගනු ලබන මසුන් එම යාත්‍රාවෙත පටවාගෙන නැවතත් ශ්‍රී ලංකාවේ වරායක් වෙත ගෙනැවිත් එම මසුන් සඳහා නීත්‍යානුකූල තත්ත්වයක් ලබාදෙන බවයි.

මෙසේ නීති විරෝධී ලෙස රැගෙන එන මත්ස්‍ය සම්පතින් කොටසක් මෙම සමාගම විදේශීය වෙළෙඳපොළ වෙත අපනයනය කරන අතර, අනෙක් කොටස දේශීය වෙළෙඳපොළ වෙත මුදා හරින බව ද පැවසේ.

ජාත්‍යන්තර ධීවර නීතියට අනුව මෙය නීති විරෝධී කටයුත්තකි.

එම තත්ත්වය හේතුවෙන් GSP සහනය සඳහා බාධක එල්ලවීමට මෙමඟින් ඉඩ ඇති බවද ධීවරයෝ ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසීය.

මෙම ජාවාරම හේතුවෙන් ධීවරයින්ට ඔවුන්ගේ අස්වැන්න සඳහා දේශීය වෙළඳපොළ තුළ නිසි මිලක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක්ද මතුව ඇතැයි ද ඔවුහු කියති.

ග්ලෝබල් ෆිෂරීස් (Global Fisheries) සමාගමේ මෙම මත්ස්‍ය ජාවාරම නිසා අගතියට පත් බහු දින ධීවර කාර්මිකයින් පසුගිය සතියේ දික්ඕවිට වරාය තුළ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පවත්වන ලදී. 

කෙසේවුවද මෙතෙක් මේ සඳහා බලධාරීන්ගේ අවධානය යොමුවී නොමැති බව ද පැවසේ. 

ග්ලෝබල් ෆිෂරීස් පුද්ගලික සමාගමේ (Global Fisheries (PVT) LTD)  විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ විශ්‍රාමික කර්නල්වරයකු වන චන්න වීරතුංග නමැත්තෙකි.

කෙසේවුවද, අප කළ සොයා බැලීමකදී මේ සමාගමේ පූර්ණ හිමිකාරීත්වය අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන නිලයක් දරන පුද්ගලයකු සතු බවට ද තොරතුරු ලැබී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top