Mar 16, 2020

Louis Vuitton සුවඳ විලවුන් වෙනුවට සැනිටයිසර් හදයි

ලොවපුරා පැතිර යන Covid-19 වසංගතය හමුවේ විලාසිතා ලොව දැවැන්තම සන්නාම නාමයක් වන ලුවී විතෝන් (Louis Vuitton) අයත් LVMH සමාගම විසින් සිය සමාගමේ සුවඳ විලවුන් නිෂ්පාදන ජාලය හරහා හෑන්ඩ් සැනිටයිසර් නිශ්පාදය කිරීමට නියමිතය.

මේ වන විට ප්‍රංශය පුරා පවතින හෑන්ඩ් සැනිටයිසර් හිඟය මැඩීමට මේ ආකාරයෙන් සහය වීමට LVMH සමාගම කැමැත්ත පළ කර තිබේ.

සඳුදා දින සිට මේ ආකාරයෙන් සිය සුවඳ විලවුන් කර්මාන්ත ශාලා වල විශාල වශයෙන් හයිඩ්‍රොඇල්කොහොලික් ජෙල් නිෂ්පාදනය කෙරෙනු ඇති බවත්, එම නිෂ්පාදන නොමිලේ සෞඛ්‍ය බලධාරීන්ට ලබාදෙන බවත් එම සමාගම නිවේදනය කර ඇත.

අවශ්‍ය තාක් කල් මෙම සේවාව ලබාදෙන බවද එම සමාගම සඳහන් කරයි.

මේ වන විට Covid-19 වසංගතය හේතුවෙන් ප්‍රංශයෙන් වාර්තා වන මරණ ගණන 120කි.

පවතින තත්ත්වය හමුවේ ගෝලීය වශයෙන් අඩු මට්ටමේ පසුවන නිෂ්පාදන නිපදවීමට සහය වන මෙන් ලොව පුරා රජයන් නිෂ්පාදන සමාගම් වලින් ඉල්ලා තිබේ.

බ්‍රිතාන්‍යයේ NHS ආයතනය වෙනුවෙන් වෙන්ටිලේටර් නිෂ්පාදනය කරන මෙන් එරට අගමැති බෝරිස් ජොන්සන් අද එරට ඉංජිනේරු සමාගම්වලින් ඉල්ලා සිටීමට නියමිතය.

තවද, චීනය තුළ Covid-19 වසංගතයේ උච්ඡතම අවස්ථාව පැවති විටදී, අයිෆෝන් නිෂ්පාදනය කරන දැවැන්ත ඉලෙක්ට්‍රොනික සමාගමක් වන ෆොක්ස්කොන් සමාගම විසින් සිය නිෂ්පාදන ජාල වල ප්‍රතිශතයක් මුඛවාඩම් නිෂ්පාදනය කිරීමට යොදාගෙන තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top