Mar 18, 2020

රුපියල ඉතිහාසගත පල්ලම් බැසීමක !

ගෝලීය වසංගතයක් බවට නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (18) ඉතිහාසගත ලෙස පහළ ගොස් තිබේ.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (18) 187.23 ලෙස සටහන්ව තිබිණි. 

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 187.23ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 183.14ක් ලෙසත් දැක්විණි.

ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබේ.

කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය සතියේත් මේ සතිය ආරම්භයේදීත් ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටිණි.

ඇතිව තිබෙන තත්ත්වය හේතුවෙන් පොළී අනුපාත අඩු කිරීමට ද ලොව බොහෝ රටවල මහ බැංකු ඉකුත් දා ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගත්තේයග කොරෝනා වයිරසයෙන් ආර්ථිකයට සිදුව තිබෙන හානිය අවම කිරීමට මුළු ලෝකයම එක්ව ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (18) සඳහන් කළේය.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 13 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.6කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

 මේ අතර බැංකු පොලී අනුපාත අඩු කිරීමේ වාසිය කිසිදු ප්‍රමාදයකින් තොරව වෙළෙඳපොළට ලබාදෙන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රමුඛ සියලු මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (17) සඳහන් කළේය.

(ලංකාදීප)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top