Mar 20, 2020

"ව්‍යාපාරිකයන්ට පමණක් නොව අනෙක් අයටත් ණය සහනය දෙන්න"

පවතින අයහපත් ‍‍සෞඛ්‍යමය වාතාවරණය මත සාමාන්‍ය ණය හිමියන් වෙත යම් සහනයක් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් ‍කේන්ද්‍රය කියයි.

එහි විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් එය අවධාරණය කර තිබේ.

පසුගියදා ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ ව්‍යාපාරික ණය අයකරගැනීම මාස 6කට අත්හිටවූ බවයි.

කෙසේවුවද, සාමාන්‍ය ජනතාව ලබාගෙන තිබෙන නිවාස ණය, පුද්ගලික ණය, වාහන ලීසිං, ණය කාඩ්පත් සහ ක්ෂුද්‍ර මුල්‍ය ණය සඳහා ද යම් සහනයක් හිමිවිය යුතු බව ඇය පෙන්වා දෙයි.

මාස 6ක තරම් කාල සීමාවක් නොවුනද අවම වශයෙන් මාස තුනක කාලයක් වත් මෙම අනිකුත් ණය සඳහා සහන කාලයක් ලබාදීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍රය අවධාරණය කරයි. 

පවතින වාතාවරණය නිසා බෙහෝ අදායම් මාර්ග බිඳ වැටීම නිසා මේ වනවිට ජනතාව අසීරුතාවකට පත්ව සිටින බවත්, බස් රථ, ලොරි රථ, ත්‍රි රෝද රථ සහ අනිකුත් කුලි රථ වලින් ලබන ආදායම මේ වනවිට අවහිර වී ඇති බව ඇය පෙන්වාදෙයි.

ලිසිං පහසුකම් ලබාගනිමින් එවැනි ව්‍යාපාරවල යෙදෙන අයට යම් සහන කාලයක් හිමිවිය යුතු බව අය සඳහන් කර තිබේ.

එමෙන්ම දෛනික ආදායම් ලබන වඩු කර්මාන්තය, මේසන් වැඩ, කම්කරු, රියදුරු වැනි වෘත්තින් වල නිරත බොහෝ පිරිසක් ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් වලින් ණය ලබාගෙන සිටින බවත් එම ණය සඳහා ද යම් සහන කාලයක් හිමිවිය යුතු බවත් ඇය සඳහන් කරයි.

ඉදිරි සතියක කාලය තුළ නිවෙස්වල සිට සේවය කිරීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මුළුමනින්ම ගමනාගමන, හෝටල්, ආපන ශාලා, ආදී සියලු අංශවල නිරත වූවන් දැඩි අසීරුතාවකට ලක්ව සිටින බවද ඔහු කියා සිටී.

රජය විසින් ප්‍රකාශයට පත් කල ව්‍යාපාරික ණය සහනයෙන් එම ව්‍යාපාරිකයාට යම් සහනයක් ලැබුණද එම ව්‍යාපාරවල සේවයේ නිරත අය ලබාගෙන ඇති පුද්ගලික ණය, ක්ෂුද්‍ර මුල්‍ය ආදී අනිකුත් ණය වාරික ගෙවා දැමීම දැඩි අර්බුදයක් ව පවතී. 

අලෙවි ආදී අංශ වල සේවයේ නිරත වූවන්ට අවම වූ මූලික වැටුපක් සහ ඔවුන් අලෙවි කරන ප්‍රමාණයට සරිලන කොමිස් මුදලක් ලැබෙයි. 

නමුත් පවතින අර්බුදකාරී වටපිටාව තුළ අත්‍යවශ්‍ය ආහාර ආදියෙහි හැර සෑම ක්ෂේත්‍රයකම අලෙවිය පහත වැටී තිබේ. 

මේ නිසා එවැනි ක්ෂේත්‍ර වල සේවයේ නිරත වූවන් පවා සිය ණයකාඩ්පත් පියවීම සහ අනිකුත් ණය  වාරික ගෙවා දැමීම හමුවේ අසරණව සිටින බව ආරියවංශ මහත්මිය කියයි.

මේ හේතුවෙන් නිවාස ණය, පුද්ගලික ණය, වාහන ලීසිං, ණය කාඩ්පත් සහ ක්ෂුද්‍ර මුල්‍ය ණය වාරික ආදී අනිකුත් ණය සඳහා අවම වශයෙන් මාස 3ක වත් සහනයක් ලබා දීමට සුදුසු වැඩපිලිවෙළක් රජය විසින් සැකසිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය දැඩිව අවධාරණය කර සිටියි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top