May 13, 2020

ට්විටර් සේවකයන්ට සදහටම 'ගෙදර සිට වැඩ' පුළුවන්!

තමන්ට රිසි නම් සදහටම නිවසේ සිට සිය රැකියාවේ නිරත විය හැකි බව ට්විටර් සමාගම සිය සේවකයන් හට පවසා ඇත.

කෙසේවෙතත්, යළිත් කාර්යාලයට පැමිණීමට උනන්දුවක් දක්වන සේවකයන් ව, අමතර ආරක්ෂිත පියවර සහිතව උණුසුම් ලෙස පිළිගන්නා බවද මේ පිළිබඳව ට්විටර්ගේ බ්ලොග් අඩවියේ පළ කර ඇති නිවේදනයේ දැක්වේ.

Covid-19 සමයේ ලොක්ඩවුන් අතරතුරදී සමාගම විසින් සිදුකළ 'නිවසේ සිට රැකියාවේ නිරත වීමේ' පියවරයන් සාර්ථක බව ට්විටර් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පදනම් වන ට්විටර් ආයතනට අයත් සේවකයන් 4,000ක් පමණ ලොවපුරා කාර්යාල වල සේවය කරයි.

පසුගිය මාර්තු මාසයේ සිට සිය කාර්යාල වසා දැමූ ට්විටර් සමාගම, සැප්තැම්බර් මාසයට පෙර සිය කාර්යාල විවෘත කිරීමට කිරීමට අදහස් නොකරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගියදා ගූගල් සහ ෆේස්බුක් සමාගම් ද පවසා සිටියේ මේ වසර අවසන් වනතෙක් තම කාර්ය මණ්ඩලයට නිවෙස් වල සිට රැකියාවේ නිරත විය හැකි බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top