May 21, 2020

දිවයින පුරා සහල් හිඟයක්, වෙළෙන්දන්ට හා මෝල් හිමියන්ට වැඩ වරදියි Featured

දිවයිනේ ප්‍රදේශ රැසක සහල් හිඟයක් මතුව ඇති බව වාර්තා වේ.

රජය විසින් පනවන ලද පාලන මිලට වී මෝල් හිමියන් විසින් සහල් නිකුත් නොකිරීම මෙම සහල් හිඟයට හේතුවී ඇතැයි පැවසේ.

පසුගිය අප්‍රේල් 10 වැනිදා රජය විසින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ අතර සම්බා, නාඩු කිලෝවක් රුපියල් 90ක් වශයෙන් ද කැකුළු කිලෝවක් රුපියල් 85ක් වශයෙන් ද කීරි සම්බා කිලෝවක් රුපියල් 125ක් වශයෙන් ද උපරිම මිල ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම මිල පාලනය ආරම්භයේ සිටම ක්‍රියාත්මක නොවන ආකාරයක් දක්නට ලැබුණු බවද ගතවූ සති කිහිපය තුළ සම්බා, නාඩු සහ කැකුළු සහල්වල සිල්ලර මිල පැවතියේ පාලන මිලට වඩා රුපියල් 20ක් පමණ වැඩියෙන් බවද පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

මෙම තත්වය තුළ පොලොන්නරුවේ සහල් වෙළඳුන් රැසක් සහල් විකිණීම නවතා දමා තිබුණු අතර මේ වනවිට දිවයින පුරා ප්‍රදේශ රැසක සහල් හිඟයක් මතුවෙමින් ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

හාල් හංගන මෝල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර

සහල් තොග සඟවාගෙන සිටින වී මෝල් හිමියන්ට හා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙන්දන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ඊයේ (20) වැනිදා සිට දිවයින පුරා වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බවද එවැනි සහල් තොග සගවාගෙන සිටින වී මෝල් හිමියන් සහ වෙළෙන්දන් ගැන තොරතුරු දන්නේ නම් 1977ට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි.

පසුගිය කාලයේ පමණක් වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 780 කට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.

තවදුරටත් වෙළෙඳපොළ තුළ කෘත‍්‍රිම සහල් හිඟයක් මවා පෑමට උත්සාහ දරන්නේ නම් ඒ පිළිබඳව ද නීතිය ක‍්‍රියාත්මක කරන බවත් මේ වන විට රටට අවශ්‍ය සහල් ප‍්‍රමාණය රට තුළ පවතින බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top