Jun 28, 2020

එතනෝල් තහනම අස්සේ හැරීගේ DCSL එතනොල් ගෙන්වලා ! Featured

එතනොල් ආනයනය කිරීම තහනම් කර තිබියදී හැරී ජයවර්ධන මහතාට අයත් Distilleries Company of Sri Lanka PLC (DCSL) විසින් මත්පැන් නිෂ්පාදනය සඳහා එතනොල් තොගයක් ගෙන්වා ඇතැයි රේගු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ තහනම පනවනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේදී වන අතර අදාළ එතනොල් තොග ගෙන්වා ඇත්තේ ඉන් පසුවද ඊට පෙරද යන්න මෙතෙක් රේගුවට තහවුරු කරගත නොහැකිව අතැයි ද පැවසේ.

කෙසේවුවද, මෙසේ ආනයනය කරන ලද එතනොල් තොගයක් පසුගිය සිකුරාදා මුදාහැර ඇති බවට ද රේගු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ අතර, ශ්‍රී ලංකා රේගුව විසින් සැකපිට එසේ ගෙන්වන ලද ටැංකි 20 ක් රඳවාගෙන සිටින බව රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා මාධ්‍යට පවසා තිබේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා අදාළ එතනොල් තොගය පිට කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටින්නේ රජයේ තහනම පැනවීමට පෙර හෝ පසුව එතනෝල් තොගය රටට ආනයනය කර ඇත්දැයි සොයා බැලීමට රේගුව විසින් පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව ඒවා මුදා හැරි බවයි.

අරක්කු නිෂ්පාදනයට අවශ්‍යම අමුද්‍රව්‍යක් වන එතනෝල් ආනයනය කිරීම තහනම් කිරීමට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය ජනවාරි මාසයේ දී තීන්දුකරනු ලැබුවේ ගෘහස්ථ නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස ය.

රජය පසුගිය සතියේ නිවේදනය කළේ එතනෝල් තහනම ඉවත් නොකරන බවත්, තහනම පැනවීමෙන් පසු රට තුළට ගෙන එන ලදැයි කියන එතනෝල් තොගය රාජසන්තක කරන බවත් ය.

අගමැතිවරයා අදහස් දක්වමින් කියා සිටියේ රජය සතු සෙවනගල සහ පැලවත්ත සීනි කර්මාන්තශාලා විසින් දේශීයව නිපදවන එතනෝල් නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර කර්මාන්තශාලා දෙක දේශීයව නිපදවන එතනෝල් නිෂ්පාදනය සඳහා 100% ක් සම්බන්ධ වී ඇති බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top