Aug 01, 2020

පාරිභෝගිකයින්ට කෝටි 300 ක සහනයක්, බිලියන 93ක පාඩුව 63ට බස්සයි Featured

සියලූ විදුලි පාරිභෝගිකයින්ට මාර්තු, අපේ‍්‍රල් සහ මැයි මාස සඳහා රු. කෝටි 300 ක සහනයක් ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.


එම මාස 03 සඳහා විදුලි පාරිභෝගිකයින්ට සහන ලබා දිය යුතු බවට විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා ඇඳිරිනීතිය පනවන ලද මාර්තු, අපේ‍්‍රල් සහ මැයි මාසවල විදුලි බිල්පත් සම්බන්ධව මහජනතාවගෙන් විවිධ චෝදනා එල්ලවී තිබිණි.

විශේෂයෙන් මහජනතාවට නිවෙස්වල රැඳී සිටින ලෙස උපදෙස් දෙන ලද්දේ රජය වන බැවින් එසේ නිවෙස්වල රැඳී සිටි ජනතාව වැඩිපුර විදුලිය පරිභෝජනය කර තිබෙන නිසා එම වියදම රජය විසින් දැරිය යුතු බවද ඇමැතිවරයා ප‍්‍රකාශකර තිබේ.

බිලියන 93ක පාඩුව 63ට බස්සයි

විදුලි බල මණ්ඩලයට 2020 අවසන් වනවිට රු. බිලියන 93 ක පාඩුවක් සිදුවෙතැයි ඇස්තමේන්තු කර තිබුණත් රජය විසින් ගන්නා ලද සාධනීය කි‍්‍රියාමාර්ග හේතුවෙන් එම අලාභය රු. බිලියන 63 ක් දක්වා අවම කර ගැනීමට හැකිවී තිබෙන බව අමාත්‍යාංශය පවසයි. 

ලෝක වෙළෙඳපළේ් ඉන්ධන මිල පහළ යෑම මත පනවන ලද විශේෂ බද්ද නිසා රු. බිලියන 48 ක මුදලක් විදුලිබල මණ්ඩලයේ ණය වශයෙන් ලංකා ඛනිිජ තෙල් සංස්ථාවට රජය විසින් ගෙවා දමනු ලැබීය. එම නිසා තවත් රු. බිලියන 3 ක් එනම් රු. කෝටි 300 ක මුදලක් වැය කර විදුලි පාරිභෝගිකයින්ට සහන සැලසීමට ලංවිම තීරණය කර ඇත.

කෙසේ වුවද කිසියම් පාරිභෝගිකයකු වෙත ලැබුණ බිල්පතෙහි සඳහන් පරිදි ඔහු විසින් ලංවිමට වැඩි මුදලක් ගෙවා ඇත්නම් ලංවීම සතුව තිබෙන එම පුද්ගලයන්ගේ ගිණුම්වලට එම අතිරික්ත මුදල් බැර වන බව විදුලි බල මණ්ඩලය කියයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top