Aug 06, 2020

යතුරුපැදි ආනයනයට අවසර දෙන්න, අලෙවි කිරීමට යතුරුපැදි ඇත්තේ මාස 3කටයි ! Featured

රජය මඟින් මාස කිහිපයක සිට නව යතුරුපැදි ආනයනය අත්හිටුවීම හේතුවෙන් ලක්ෂ පහකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවකට පත්ව සිටින බැවින් කුමන හෝ කොන්දේසියක් යටතේ යතුරුපැදි ආනයනයට අවසර ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව මධ්‍යම හා උතුරු මැද පළාත් නව යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පිහිටි රෝයල් මෝල් හෝටලයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මධ්‍යම හා උතුරු මැද පළාත් නව යතුරුපැදි අලෙවිකරුවන්ගේ සංගමය උප සභාපති දහම් උනන්තැන්න මහතා පවසයි. 

වාර්ෂිකව නව යතුරුපැදි ලක්ෂ තුනක් මෙරට අලෙවි වන බවත් උතුරු මැද හා මධ්‍යම පළාත් දෙකේ පමණක් වසරකට අලෙවි වන නව යතුරුපැදි සංඛ්‍යාව 60,000ක් බවද යතුරුපැදි ආනයනය තහනම් කිරීමත් සමඟ නව යතුරුපැදි හිඟයක් රටේ ඇතිව තිබෙන බවද ඒ මහතා අවධාරණය කළේය.

නව යතුරුපැදි අලෙවිකරුවන් වසරකට රුපියල් බිලියන 40ක මුදලක් බදු ලෙස රජයට ගෙවන බවත් වසරකට සාමාන්‍යයෙන් බිලියන 122ක පමණ මුදලක් මෙම ක්ෂේත්‍රය තුළ සංසරණය වන වේ.

අලෙවි කිරීමට යතුරුපැදි ඇත්තේ තවත් මාස තුනකටයි   

මෙරට අලෙවි කිරීම සඳහා යතුරුපැදි ඇත්තේ තවත් මාස තුනකට පමණක් බවද ඉන් පසු නව යතුරුපැදි ප්‍රදර්ශනාගාර වසා දැමීමට සිදුවන බවද වාර්තා වේ.

රට තුළ නිර්මාණය වී තිබෙන නව යතුරුපැදි හිඟය හේතුවෙන් දෙවැනි පෙළ යතුරුපැදිවල මිල රුපියල් පනස් දහසේ සිට ලක්ෂය දක්වා මුදලකින් ඉහළ ගොස් තිබෙන බවද මේ වනවිට යතුරුපැදි අමතර කොටස්වල බරපතළ හිඟයක් පවතින බවද පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top