Oct 09, 2020

පොල් තෙල් මිල නග්ගන්න කැමැති ඇමැත්තා! Featured

පොල්තෙල් ආනායනය කිරීම සඳහා පනවා ඇති කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 125ක බදු මුදල කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 290ක් දක්වා වැඩි කිරීමට රජයේ අමාත්‍යවරයකු උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ.

සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙසේ පොල් තෙල් ආනයන බදු මුදල් වැඩි කිරීමට අදාළ අමාත්‍යවරයා උත්සාහ ගනිමින් සිටින බව පැවසේ.

කෙසේවුවද, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටින්නේ මෙසේ පොල්තෙල් ආනයන බදු වැඩි කිරීමේ උත්සාහය පිටුපස සිටින්නේ පසුගිය කාලයේදී පොල් තෙල් වලට පාම් ඔයිල් කවලම් කරමින්  කූට ව්‍යාපාර කළ පිරිසක් බවයි.

ඔවුන් පෙන්වාදෙන්නේ මේවන විට පොල්තෙල් ආනයනය සඳහා පනවා ඇති බද්ද පාම් ඔයිල් ආනයනයට පනවා ඇති බදු මුදලට වඩා අඩු බවයි. 

පාම් ඔයිල් කිලෝ ග්‍රෑම් එකක් ආනයනය සඳහා රුපියල් 250/- ක බද්දක් පනවා තිබේ.

එබැන් වැඩි මුදලට පාම් ඔයිල් ගෙනවිත් කළවම් කිරීමට නොහැකි බැවින් මෙසේ පොල්තෙල් මිල වැඩි කරන ලෙස ඉල්ලා සිටින බවට ඔවුන් චෝදනා කර සිටී.

මෙරට වාර්ෂික පොල්තෙල් පරිභෝජනය මෙට්රික් ටොන් 1700000 ක් පමණ වන අතර 2019 ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා ලේඛණවලට අනුව මෙරට පොල් තෙල් නිෂ්පාදනය මෙට්රික් ටොන් දහස් 44.06 ක් බව පැවසේ.

දේශීය පරිභෝජනය සදහා පොල් ගෙඩි බිලියන 1.8  අවශ්‍ය වන අතර මීට අමතරව අපනයනය නිෂ්පාදන කර්මාන්ත සදහා අවම වශයෙන් පොල් ගෙඩි බිලියනයක අවශ්‍යතාවක් ඇතැයි පොල් කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

2019 වසරේ මහබැංකු වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න ගෙඩි බිලියන 3.08 කි.

ඉන් ගෙඩි බිලියන 1.80 ක් මාලු පොල් ලෙස ශ්‍රී ලාංකිකයින් විසින් පරිභෝජනය කරනු ලබන අතර ඉතිරිවන ගෙඩි බිලියන 1.28 දේශීය පොල් තෙල් නිෂ්පාදනය සදහා හෝ  අපනයන නිෂ්පාදන සදහා යොදා ගැනීම සිදු කරයි.

දේශීය පොල් තෙල් අවශ්‍යතාවය සපුරා ලීමට අවශ්‍ය වන පොල් ගෙඩි ප්‍රමාණය බිලියන 1.7 ක් වූවත් මාලු පොල් පරිභෝජනයෙන් පසුව ඉතිරිවන ගෙඩි ප්‍රමාණය බිලියන 1.28 ක් බව පැවසේ.

මෙසේ ඉතිරිවන සියලුම පොල් ප්‍රමාණය උපයෝගී කරගෙන පොල් තෙල් නිෂ්පාදනය කලද  ගෙඩි බිලියන .42ක හිගයක් පවතින බව එම කර්මාන්ත කරුවන් කියා සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top