Oct 14, 2020

කහ නොගෙන්වා බාස්මතී ගේන්නේ ඇයි ? Featured

පාරිභෝගිකයන් බහුතරයකගේ අවශ්‍යතාවක් වන කහ හිඟයට පිළියම් නොයොදා පාකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තීරු බදු සහන සහිතව බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6000ක් පාකිස්තානයේ ආනයනය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබීම ගැටලුකාරී බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා කියා සිටී.

එබැවින් බාස්මතී සහල් ගෙන්වීමට ගෙන ඇති තීන්දුව වහාම අත්හිටුවන ලෙස ද එම සම්මේලනය ඉල්ලා සිටී.

දේශීය කෘෂිකර්මාන්තය නංවාලීමට නම් කිසිදු සහල් වර්ගයක් ආනයනය අනවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේවුවද, පසුගිය කාලයේදී මෙසේ සහල් පෞද්ගලික අංශය විසින් පාකිස්තානයෙන් ආනයනය කිරීමේදී ප්‍රමිතියෙන් තොර සහල් මෙන්ම විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවද පෙන්වා දී ඇති වෙළඳ අමාත්‍යවරයා මෙවර සහල් ආනයනය කිරීම රජයේ ආයතන හරහා සිදුකිරීමට නියමිත බවද කියා සිටී.

ඒ අනුව රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව, හා සමූපකාර තොග වෙළඳ සංස්ථාව හා ලංකා සතොස යන ආයතන හරහා මෙසේ සහල් ආනයනය කිරීමට නියමිතය.

මේ වසරේ කහ කාල හමාරයි!

අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා කියා සිටින්නේ මුළුතැන්ගෙට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යක් වන කහ 2019 ට පෙර වසර 10ක පමණ කාල පරිජ්ජේදයක සිට ලංකාවේ වාර්ෂික පරිභෝජනය මෙට්‍රික් ටොන් 7000ක් පමණ වූ බවයි.

ඉන් මෙට්‍රික් ටොන් 5000ක්ම ආනයනය කළ බවත්, දේශීව නිෂ්පාදනය කරනු ලැබුවේ මෙට්‍රික් ටොන් 2000ක් පමණක් බවද ඔහු ගෙන්වා දෙයි.

කෙසේවුවද, කහ වගා කිරීමට දේශීය ගොවියා නොපෙළඹුනේ කහ සඳහා හොඳ මිලක් නොලැබුණ නිසා යැයි ඔහු කියා සිටී. කහ කිලෝවක් පසුගිය කාලයේ මිලදී ගනු ලැබුවේ රුපියල් 20කට පමණ යැයිද ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය (2019) දෙසැම්බර් 06 වැනිදා සිට කහ, ඉඟුරු ඇතුළු කුළුබඩු වර්ග 10ක් ආනයනය තහනම් කර තිබේ.

ඒ මහතා පෙන්වා දෙන්නේ දැනට කහ හෙක්ටයාර 1500ක් වගා කර ඇති බවයි.

මාර්තු සිට මැයි දක්වා වගා කර ඇති කහවලින් 2021 ජනවාරි වන විට අමු කහ මෙට්‍රික් ටොන් 22,500ක් ලැබෙනු ඇතැයි ඔහු අපේක්ෂා දල්වාගෙන සිටී.

එසේ ලැබෙන කහවලින් මෙට්‍රික් ටොන් 4000ක් බීජ සඳහා වෙන්කරගත හොත් 2021 අවසානය හෝ 2022 මුලදී කහ වලින් ස්වයංපෝෂිත විය හැකි බව ඔහු කියා සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top