Oct 15, 2020

පොල්තෙල් ගැසට්ටුවේ හිලක්: පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 240,000ක් ලංකාවට Featured

සියළු තෙල් නිෂ්පාදකයින් ආනයනකරුවන්, බෙදාහරින්නන් හා වෙළෙන්ඳන් වෙත නිකුත් කර ඇති 2016 ඔක්තෝබර් 07 අංක 195/5 යන ගැසට්ටුවේ (ඔ) ඡේදය මගින් විකෘතියක් කරමින් කූට වෙළෙන්දන්ට පොල්තෙල් හා ආදේශිත තෙල් කවලම් කිරීමේ අවස්ථාව සලසා දී ඇති බවට සමස්ථ ලංකා පොතෙල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරයි.

ඔවුන් ඊයේ (14) කොළඹ නිපෝන් ආයතනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව හෙළිදරව් කළේය.

එහිදී අදහස් දැක්වූ එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා සිටියේ දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමට නම් අදාළ ගැසට්ටුව ඉවත් කළ යුතු බවයි.

පාම් ඔයිල්වල මේද අම්ල ප්‍රතිශතය 20%

මෙරට පරිභෝජනය සඳහා ඕනෑම අහිතකර මිශ්‍ර තෙල් වර්ගයක් ගෙන්වීමට ගැසට් නිවේදනයකින්ම අවසර ලබාදීම පිළිබඳව කනගාටු වන බවත් මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළද මෙතෙක් නිසි පිළිතුරක් තම සංගමයට නොලැබුණු බවද හෙතෙම පැවැසීය.

මේ වන විට ශ්‍රී ලංකාව වසරකට මෙට්‍රික් ටොන් 2,40,000ක පාම් තෙල් ආනයනය කරන බවත් මේ මගින් මහා පරිමාණ ජාවාරම්කරුවන්ට රුපියල් මිලියන 20,000ක පමණ අමතර ලාබයක් ලැබෙන බවද ඔහු කියා සිටියේය.

පොල් තෙල් පරිභෝජනයට වඩා පාම්තෙල් පරිභෝජනය ශරීරයට ඉතාමත් අහිතකර බවත් එම තෙල්වල අඩංගු ඉතා ඉහළ මේද අම්ල ප්‍රතිශතය ඉතාමත් භයානක පිළිකාකාරකයක් බවද එහිදී හෙතෙම කියා සිටියේය.

මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල ප්‍රමිතීන් අනුව පිරිපහදු කළ පාම්තෙල්වල අඩංගු මේද අම්ල ප්‍රතිශතය 5%ක් වුවද අප රටට ආනයනය කරන පිරිපහදු නොකළ පාම් තෙල්වල එම ප්‍රතිශතය 20% තරම් ඉහළ අගයක් ගන්නා බව ඔහු පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මෙසේද පැවැසීය.

අපේ රටේ වසරකට පොල් තෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූදහසක් වෙනවා. මේ රටේ පරිභෝජනයට අවශ්‍ය පොල් තෙල් දේශීය පොල් තෙල් නිෂ්පාදකයන්ට නිපදවන්න හැකියාව තියෙනවා.

අපි ඉල්ලන්නේ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර පහසුකම් අපිට ලබාදෙන්න කියලා. පොල් තෙල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතළිස්දාහක් පමණ ආනයනය කරනවා. අපේ රටේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා නම් තවත් රටවල්වලින් විශාල මුදල් ප්‍රමාණයක් වැයකර තෙල් ආනයනය කරන්න අවශ්‍ය නෑ.

අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ කඩා වැටෙමින් තියෙන දේශීය පොල් තෙල් කර්මාන්තය නගා සිටුවන්න සහනදායී පොලියට ණය පහසුකම් ලබාදෙන්න කියලා. පිටරටකින් පොල් තෙල් ආනයනය කිරීම වෙනුවට කොප්පරා සහ කැබලි කළ පොල් ආනයන කරන්න ඉඩ ලබාදුන්නා නම් අපිට ඒ මගින් දේශීය පොල් තෙල් නිෂ්පාදනය වැඩිකරගන්න පුළුවන්.

සබැඳි පුවත්
පොල් තෙල් මිල නග්ගන්න කැමැති ඇමැත්තා!

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top