Oct 15, 2020

මැලිබන් බිස්කට්වල ගෝස්ද? මාස්ක්ද? - පහලොස් දහසට වැඩේ ෂේප්ද?

මැලිබන් මිල්ක් ෂෝර්ට්කේක් බිස්කට් පැකට්ටුවක් තුළ වූ බිස්කට්ටුවක තිබී ගෝස් (gauze) කැබැල්ලක් හමුවීමේ සිද්ධිය මැලිබන් බිස්කට් මැනිෆැක්චරීස් පුද්ගලික සමාගම ( Maliban Biscuit Manufactories (Pvt) Limited ) විසින් අදාළ පාරිභෝගිකයාට රුපියල් 15,000ක මුදලක් ලබාදී සිද්ධිය යටගසා ගැනීමට උත්සාහ කර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

බිස්කට්ටුව තුළ වූ ගෝස් කෑල්ල සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සිය ෆේස්බුක් පිටුවේ බිස්කට්ටුව හා ගෝස් කැබැල්ලේ ඡායාරූප පෙළක් පලකරමින් මේ බව හෙළිකර තිබූ අතර ශ්‍රී ලංකා මිරර් ඒ සම්බන්ධ පුවත මීට පෙර වාර්තා කළේය.

කෙසේවුවද, අප පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමා සමාගමේ නිලධාරියකුගෙන් අදාළ බිස්කට් පැකට් කාණ්ඩය වෙළඳපොලෙන් එකතු කර එය විනාශ කර දමන ලෙස ඉල්ලීමක් කළ ද එයට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් හෙට (16) පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ හෙට (16) දිනට යෙදෙන ලෝක ආහාර දිනය නිමිති කරගනිමින් මේ පැමිණිල්ල මෙන්ම, පරිභෝජනයට නුසුදුසු සැමන් තොගයකට රජයේ ප්‍රමිති ආයතනය අනුමැතිය ලබාදීසම්බන්ධයෙන්ද පැමිණිල්ලක් කරණ බවයි.

හෙට දිනයේ අදාළ ගෝස් කැබැල්ල හමුවූ පාරිභෝගිකයා ද පාරිභෝගික අධිකාරියට යන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සිද්ධිය වූ අවස්ථාවේම අදාළ බිස්කට් පැකට්ටුව මිලදී ගත් අයට මැලිබන් සමාගමේ නිලධාරීන් පිරිසක් පැමිණ එම බිස්කට් පැකට්ටුව නැවත ලබාගනිමින් බිස්කට් පාර්සලක් ලබාදීමට උත්සාහ කර ඇතැයි ද වාර්තා විය.

මෙසේ හමුව ඇත්තේ ෆේස් මාස්ක් කැබැල්ලක් බව අදාළ ආයතනය පිළිගෙන ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කේත්‍ර ප්‍රවීනයන් කියා සිටින්නේ අදාළ කැබැල්ල ෆේස් මාස්ක් එකක කොටසක් නම් කොරෝනා උවදුර එන තෙක් එහි සේවකයන් සෞඛ්‍ය රීතිවලට පටහැනිව නිෂ්පාදනයේ යෙදී ඇත්ද යන්න ගැනද සැකයක් මතුවන බවයි.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් අප (ශ්‍රී ලංකා මිරර්) මැලිබන් බිස්කට් සමාගමට ද දුරකථන ඇමතුමක් ලබාදුන් අතර, සිද්ධිය සම්බන්ධයෙන් විස්තර ලබාදීමට නැවත ඇමතුමක් ලබාදෙන බව පවසමින් දුකථන ක්‍රියාකාරිය විසින් ඇමතුම විසන්ධි කළේය.

මැලිබන් බිස්කට් සමාගම 1954 වසරේදී බිස්කට් නිෂ්පාදනය ආරම්භ කරන ලද සමාගමකි.

බිස්කට්වලට අමතරව එම සමාගම තේ, කිරිපිටි හා පෝෂණ අතිරේකයක්ද නිෂ්පාදනය කරනු ලබයි.

එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ රත්නපාල සමරවීර මහතාය.

Maliban 16 10 20කුමුදිකා පුනාන්දු එහි ප්‍රධාන විධායක නිලධාරිණිය ලෙස කටයුතු කරන අතර, තරංගිත සමරවීර හා ශානක වික්‍රමපාල යන මහත්වරුන් එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනු ලබයි.

සබැඳි පුවත්
මැලිබන් බිස්කට් එකක ගෝස් කෑල්ලක් (ඡායා)

Maliban 900px 001

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top