Oct 20, 2020

සීනි බදු සහනය කා සඳහාද? සීනි කතාවේ තිත්ත ඇත්ත! Featured

පසුගිය 14 වැනිදා සිට බදු ඉවත් කිරීමෙන් පසුව සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 85/- කට විකිණිය යුතු වුවද තොග වෙළඳපොළ තුළ ද මේ වන විට සීනි කිලෝව අලෙවි වන්නේ රුපියල් 125/- කට බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් අබේසේකර මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ බදු සහන ලබාදීමට පෙර සීනි තොග නිදහස් කරගනු ලැබුවේ රුපියල් 45ක පමණ බදු මුදලක් ගෙවීමෙන් පසුව බවත්, එසේ නිදහස්කරගත් සීනි තොග මේවන විට ගබඩාවල ඇති බැවින් රුපියල් 85/-කට අඩුවෙන් එම සීනි විකිණීමට ගියහොත් සීනි ආනයනකරුවන්ට විශාල පාඩුවක් සිදුවන බවයි.

හදිස්සියේ සිදු කළ සීනි ආනයන බදු ඉවත් කිරීමේ වාසිය සීනි ආනයන කරුවන් 12 අතරින් 11 දෙනෙකුටම ලැබී නැතැයි වෙළඳපොළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ ඉන්දියානු වෙළඳපොලේ සීනි හිඟයක් ඇති වෙතැයි පැතිර තිබූ රාවයක් හේතුවෙන් මෙරට තොග වෙළෙන්දුන් සීනි තොග පිටින් ගෙන්වාගෙන බදුගෙවා වරායෙන් නිදහස් කරගෙන තිබීම නිසාය.

කෙසේවුවද, මෙහි වාසිය ලබාගෙන ඇත්තේ මෙරට ප්‍රකට ආනයන කරුවකු වන පිරමීඩ් විල්මා (Pyramid wilmar) පෞද්ගලික සමාගම විසින් බව පැවසේ.

ලංකාවේ ගුදම් ඇති සමාගම් අතර ප්‍රධානම සමාගමක් වන මේ සමාගමේ ගුදම්වල මෙම සීනි ආනයන බද්ද ඉවත් කරන අවස්ථාවේ මෙට්‍රික්ටොන් 8000ක් පමණ තිබී ඇති බව වාර්තා වේ.

කෙසේවුවද එම සමාගම ආනයන බදු ඉවත් කළ වහා සීනි කිලෝවකට සත 25/- ක් පමණක් ගෙවා මෙට්‍රික් ටොන් 8000ක් නිදහස් කරගෙන ඇති බව වාර්තා වේ.

පිරමීඩ් විල්මා (Pyramid wilmar) සමාගම මෙරටට ආදේශක තෙල් ගෙනඒමේ (පාම් ඔයිල්) ප්‍රධාන ආනයන කරුවකු ලෙසද කටයුතු කරනු ලබයි. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top