Nov 16, 2020

ලොව ලොකුම වෙළඳ හවුලට රටවල් 15ක් අත්සන් තබයි Featured

ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක් පමණ ආවරණය වන රටවල් 15ක් එක්ව ලොව විශාලතම වෙළඳ සමූහය පිහිටුවා ඇත.

Regional Comprehensive Economic Partnership (RCEP) නම් මෙම සමූහයට අග්නිදිග ආසියානු රටවල් 10 ක්, දකුණු කොරියාව, චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අයත් වේ.

RCEP සමූහය පිළිබඳ සාකච්ඡා 2012 දී ආරම්භ වූ අතර එයට අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (Asean) රැස්වීමකට සමගාමීව ඊයේ (15) අත්සන් තැබුණි.

මෙම සමූහයට ඇමෙරිකාව හා ඉන්දියාව අයත් නොවේ. ඇමෙරිකාව 2017දී ආසියා පැසිෆික් වෙළඳ ගිවිසුමෙන් ඉවත්වූ අතර, මේ සම්බන්ධව පැවති සාකච්ඡා වලට මුලින් එකතු වූ ඉන්දියාව පසුගිය වසරේදී ඉන් බැහැර විය.

කෙසේවෙතත්, යළි තමා හා එක්වීමට ඉන්දියාව හට මෙහි දොරටු තවදුරටත් විවෘතව පවතින බව මෙම එකතුවේ රටවල් පවසයි.

මෙම එකඟතාවය පිළිබඳව අදහස් දක්වමින් චීන අග්‍රාමාත්‍ය ලී කෙචියාන් මහතා පවසා සිටියේ අටවසරක් පුරා පැවති සාකච්ඡා වලට පසුව අත්සන් තැබුණු මෙම ගිවිසුම මගින් වළාකුළු අතරින් බලාපොරොත්තුවේ ආලෝකයක් ගෙන එන බවයි.

RCEP හි සාමාජික රටවල් ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් පමණ නියෝජනය කරන අතර, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 29% ක් පමණ වේ. මෙම නව නිදහස් වෙළඳ සමූහය, ඇමෙරිකාව-මෙක්සිකෝ-කැනඩා ගිවිසුමට හා යුරෝපා සංගමයට වඩා විශාල බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

(මූලාශ්‍රය: බීබීසී පුවත් / පින්තූරය: ෂින්හුවා)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top