Nov 20, 2020

ලංකාවෙන් පෝට් සිටියට දෙන සහයට චීනයෙන් පැසසුම් Featured

කොළඹ වරාය නගරය සඳහා නීතිමය සහය මෙන්ම ඊට සහය දනවන ප්‍රතිපත්ති ලබා දීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළ කර සිටීම සම්බන්ධයෙන් චීනය අගය කරන බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ජාඕ ලිජියන් මහතා  පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (19) බීජිං අගනුවර පැවති මාධ්‍ය හමුවකදී එරට 'ෂෙන්ජන් TV’ රූපවාහිනී නාලිකාව විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 17දා නව මූල්‍ය වර්ෂයේ රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, කොළඹ වරාය නගරය සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා බදු සහන ලබා දෙමින් යහපත් ව්‍යාපාරික වාතාවරණයක් ඇතිකිරීමට රජය විශේෂ ආර්ථික කලාපයක නෛතික රාමුවක් සකස් කරන බව එහිදී පැවසූ බවත් පැවසූ 'ෂෙන්ජන් TV’ ඒ පිළිබඳ ජාඕ මහතා ගේ අදහස් විමසා ඇත.

කොළඹ වරාය නගරය, යනු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ (Belt and Road - BRI) වැඩපිළිවලේ ප්‍රධානතම ව්‍යාපෘතියක් බවත්,  එය ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයට ප්‍රබල ගාමක බලවේගය එක් කරනු ඇති බවත් ඉන් ශ්‍රී ලංකාව‍ට ඉන්දීය සාගරයේ මූල්‍ය හා වාණිජ මධ්‍යස්ථානය ගොඩනැගීමේ අපේක්ෂාව ඉටු කිරීමට උපකාරී වන බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම, ව්‍යාපෘති ගොඩනැඟීම අඛණ්ඩව ඉදිරියට ගෙනයාම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා දායක වීම සඳහා චීන ව්‍යවසායයන්ට සහාය දැක්වීමට චීනය සූදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top