Dec 16, 2020

'එයාර් ඉන්ඩියා' අයිතිය සේවකයන් අතටම?

දැවැන්ත පාඩු පිට දුවන ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන 'එයාර් ඉන්ඩියා' වල හිමිකාරත්වය එහි සේවකයන් හටම හිමිවීමේ හැකියාවක් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වන විට 'එයාර් ඉන්ඩියා' හිමිකාරත්වය සඳහා පාර්ශව කිහිපයක්ම ඉල්ලුම් කර ඇති අතර, ඉන් එක් පාර්ශවක් වන්නේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ ටාටා සමාගමයි.

වසර 1932දී 'එයාර් ඉන්ඩියා' ස්ථාපිත කළ ටාටා සමාගම, 1950 ගණන් වලදී සිය හිමිකාරත්වය ඉන්දීය රජයට අලෙවි කිරීමට කටයුතු කර තිබුණි.

51% සේවකයන්ට
මේ අතර, මෙහි හිමිකාරත්වය සඳහා ඉදිරිපත් වී ඇති තවත් පාර්ශවයක් වන්නේ ඇමෙරිකාවේ පදනම් වූ අයෝජන සමාගමක් වන Interups සමාගමයි.

ඔවුන්ගේ සැලැස්ම වන්නේ Interups වෙත 'එයාර් ඉන්ඩියා' හි කොටස් 49% ක් තබාගෙන ඉතිරි 51% ක පාලක කොටස් එහි සේවකයින් වෙත ලබාදීමයි.

බීබීසී ලෝක සේවය වෙත අදහස් දක්වමින් Interups සභාපති ලක්ෂ්මි ප්‍රසාද් මහතා පවසා ඇත්තේ 'එයාර් ඉන්ඩියා' ගුවන් සමාගමේ හිමිකාරත්වයක් ලබාගැනීමට එහි සේවකයන් වෙත සිය සමාග විවෘත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.

Interups විසින් මෙහි සමස්ථ මුදල් ආයෝජනය කරනු ඇති බවත්, එබැවින් මේ සඳහා සේවකයන් හට ප්‍රාග්ධනය ආයෝජනය කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවනු බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

ගුවන් සේවය පවත්වාගෙන යාමේ "කොඳු නාරටිය” එහි සේවකයන් බව පැහැදිලි කළ ප්‍රසාද් මහතා 51%ක පාලක කොටස් ඔවුන් සියලුදෙනා ගුවන් සේවය වෙනුවෙන් සිදුකරනු ලබන ගැඹුරු, අස්පෘශ්‍ය දායකත්වය වෙනුවෙන්” බව වැඩිදුරටත් පවසා ඇත.

'එයාර් ඉන්ඩියා' ගුවන් සමාගම පිළිබඳව එහි සේවකයින් හා කළමනාකාරිත්වයට වඩා හොඳින් දන්නා කිසිවෙකු නැතැයි ඔහු සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top