Dec 22, 2020

ගුවන්තොටුපල ධාරිතාවය තීරණය කරන්නෙ සති 2කින්! Featured

දෙසැම්බර් 26දා සිට විදෙස් සංචාරකයන් සඳහා මෙරට ගුවන්තොටුපලවල් විවෘත වුවද, රජය විසින් ගුවන්තොටුපල ධාරිතාවය තීරණය කරනු ලබන්නේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත බව වාර්තා වේ.

මේ පිළිබඳව හෙළි වූයේ අද (22) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

මෙලෙස ගුවන්තොටුපලවල් විවෘත වීමත් සමග මෙරටට කෙතරම් සංචාරක පිරිසක් බලපොරොත්තු වන්නේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට සම කැබිනට් ප්‍රකාශක - වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ පවසා සිටියේය.

සංචාරක කර්මාන්තයට ජීවයක් ලබාදීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙළ පැවැත්වෙන බවත් දැනටමත් ප්‍රධාන ගුවන්සේවා කිහිපයක්ම මෙරටට පැමිණීමට කැමැත්ත පළකර ඇති ඔහු සඳහන් කළේය.

"නමුත් රටට පැමිණීමට යෝජිත සහ අපිට දරාගත හැකි සංචාරකයන් පිළිබඳව අපි තීන්දු කරන්නෙ ඉදිරි සති දෙකක කාලය ඇතුළත. ඒ සඳහා පළමු දින කිහිපයේ රටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව නිර්නය කිරීමෙන් අපිට ගුවන්තොටුපල ධාරිතාවය පිළිබඳව වැටහීමක් ලබාගන්න පුළුවන්. ඒ අනුව තමයි ඉදිරි කටයුතු තීන්දු වෙන්නෙ," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ජාත්‍යන්තර ගුවන් යානා මෙරටට ඇතුළු වීමේ දී ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු දෙසැම්බර් 26 සිට 2021 ජනවාරි 19 වැනිදා දක්වා කාලය තුළ නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තවදුරටත් තීන්දු කර තිබුණි.

සබැඳි පුවත් 

මෙරටට පැමිණෙන ගුවන් සමාගම්වලට සහනයක්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top