File Photo File Photo
Dec 23, 2020

පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීම අවුරුදු 60 දක්වා?

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (23) මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

ඒ අනුව සතියක් තුල හාම්පුතුන්ගේ සංගමය හා වෘත්තීය සමිති නායකයින් එකතුව එම කාරණය පිළිබඳ යම් විසඳීමකට පැමිණිය යුතු බවද ජාතික කම්කරු උපදේශන සභාව ඉදිරියේ දී විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ තමා සාකච්ඡාවට ගත් බවත් එහිදී වෘත්තීය සමිති නායකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමට එකඟ වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

යම් සේවකයෙකුට අවුරුදු 55න් විශ්‍රාම යෑමට අවශ්‍ය නම් ඔහුට ඒ සඳහා ඉඩකඩ සලසා දියයුතු බවත් එහිදී අර්ථසාධක මුදල් ලබා ගැනීමේ අයිතිය ලබා දිය යුතු වන අතර අවුරුදු 60න් පසුව විශ්‍රාම ගැනීමේ දී අර්ථසාධක මුදල් ලබා ගැනීම පිළිබඳ විරුද්ධත්වයක් නොමැති බවත් වෘත්තීය සමිති නායකයින් විසින් පවසා ඇත.

ප්‍රතිපත්තියක් ලෙස මෙයට විරුද්ධත්වයක් නොමැති වුවත් නීතියකින් එවැනි බලකිරීමක් කළහොත් ගැටලු රැසක් ඇති වන බවද එවැනි තත්ත්වයක් තුළ ඵලදායිතාවය පිළිබඳ ගැටලු රැසක් ඇති වෙන බව හාම්පුතුන්ගේ සංගමය විසින් පැවසු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top