Jan 06, 2021

ශ්‍රීලංකන් පරිපාලක නොසලකා හැරීමෙන් ගුවන් නියමුවෝ අකුරට වැඩ පටන් ගනියි! Featured

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් අකුරට වැඩ කිරීමට සූදානම්වන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ රාජකාරි අවස්ථාවේදී කොඩිඩ්-19 රෝගය වැළදෙන ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් යොමු කිරීමට එම සමාගමට නිසි මධ්‍යස්ථානයක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය (Airline Pilots Guild of Sri Lanka) විසින් කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීම් ශ්‍රීලංකන් පාලනාධිකාරිය ඉවත දැමීම හේතුවෙනි.

ඒ අනුව රොස්ටරයට අනුව නිවාඩු ලබාදී ඇති දිනවල පියාසර නොකිරීම, එම කාලසීමවා තුළ රාජකාරි වෙනස්කම් සඳහා ඉල්ලුම් කිරීම හෝ ලැබෙන ඉල්ලුම් පිළිනොගැනීම, ස්ථාවර රාජකාරි වේලාවෙන් පිටත ගුවන් ගමන් භාර නොගැනීම හා රාජකාරි දිනවලදී පවා විකල්ප රාජකාරි භාර නොගෙන සිටීමට කටයුතු කිරීම යන කරුණු මුල්කරගනිමින් මෙයට විරෝධය දැක්වීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදයේ (Airline Pilots Guild of Sri Lanka) ලේකම් ප්‍රධාන ගුවන් නියමු ගෙහාන් ගුණරත්න මහතා විසින් ශ්‍රීලංකන් හි සේවය කරන ගුවන් නියමු සාමාජිකයන්ගෙන් ඉල්ලා තිබේ. (අදාළ ලිපිය පහත දැක්වේ.)

Srilankan letter 06 01 21

ඔවුන් විසින් මෙම තීන්දුව ගෙන ඇත්තේ ලබන 21 වැනිදාට ගුවන් තොටුපලවල් සියල්ල විවෘත කිරීමට රජය තීන්දු කර තිබියදී බැවින් ශ්‍රීලංකන් සමාගමට ගුවන් යානා පියාසර කිරීමට නියමු හිඟයක් ඇතිවීමට බොහෝවිට ඉඩ ඇති බවද පැවසේ.

සේවා අවස්ථාවේදී කොරෝනා රෝගයට ගොදුරුවන සේවකයන් රැක බලා ගැනීමට මෙරට ප්‍රධාන සමාගම් කිහිපයක්ම හොඳින් නඩත්තුකරමින් පවත්වාගෙන යනු ලබන කොරෝනා මධ්‍යස්ථාන කිහිපයක් ඇතැයි ද එහි සාමාජිකයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

කෙසේවුවද, මේ තත්ත්වය වඩාත් උත්සන්නව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදයේ (Airline Pilots Guild of Sri Lanka) ඉල්ලීමට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන විපුල ගුණතිලක මහතා විසින් ලබාදෙන ලද පිළිතුරක් ලිපියක් බවද එම සාමාජිකයා සඳහන් කළේය.

ඔහු විසින් එහි දක්වා ඇත්තේ ඇතැම් සේවකයින් වෛරසයට නිරාවරණය වී ඇත්තේ වෛරසය සමාජයේ පුළුල්ව පැතිරී ඇති හෙයින් බවයි.

විපුල මහතා විසින් යවන ලද ලිපියද පහත දැක්වේ.

Srilankan letter 06 01 21 1

ශ්‍රීලංකන් පයිලට්ලා 4කට කොරෝනා

මේවන විට ප්‍රධාන ගුවන් නියමුවන් සිවුදෙනෙකුට රාජකාරි අවස්ථාවේදී කොවිඩ්-19 රෝගය වැළඳී ඇති අතර ඒ අතර ප්‍රධාන ගුවන් නියමුවන් දෙදෙනෙකු (Captain) හා දෙවන නියමුවන් දෙදෙනෙකු ( First Officer (FO)) දෙදෙනෙකු සිටින බව වාර්තා වේ.

ඔවුන් කොවිඩ් -19 රෝගය ආසාදිත බවට තහවුරුවීමෙන් පසුව ඉරණවිල පිහිටි කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබූ අතර අදාළ මධයස්ථානය තුළ මූලික පහසුකම් අවම මට්ටමක පැවැතීම හේතුවෙන් අදාළ ගුවන් නියමුවන් විශාල ලෙස මානසික වියවුලකට පත්ව සිටි බව පැවසේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය (Airline Pilots Guild of Sri Lanka) හා සෙසු ගුවන් නියමුවන්ගේ මැදිහත්වීමෙන් පසුව ඔවුන් වෙනත් ස්ථාන වෙත මාරු කිරීමට කටයුතු යොදා තිබූ බව පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top