Jan 08, 2021

කකුලක් අහිමි අයෙකුට වන්දි නොගෙවා Softlogic Life වෙට්ටුවක් දාලා!

සොෆ්ලොජික් ලයිෆ් (Softlogic Life) රක්ෂණ ආයතනය රක්ෂණ වන්දියක් නොගෙවූ බව කියමින් දුම්රිය අනතුරකට ලක්ව පාදයක් අහිමිවූ අයෙක් කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ඉන්දික නීල් විජේරත්න නැමැති අදාළ තැනැත්තා විසින් කුරුණෑගල මීගමුව පාරේ පිහිටි ඔඩෙල් ගොඩනැගිල්ල ඉදිරියේ (සොෆ්ලොජික් ලයිෆ් (Softlogic Life) රක්ෂණ සමාගමේ කාර්යාලක් පිහිටි) පසුගිය 04 වැනිදා මේ සම්බන්ධයෙන් විරෝධතාවයක්ද දැක්වීමෙන් අනතුරුව පොලිසියට මේ පැමිණිල්ල සිදුකර ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 05 වැනිදා සොෆ්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම නිවේදනයක්ද නිකුත් කර තිබේ. අදාළ නිවේදනයට අනුව කියා සිටින්නේ රක්ෂණ වන්දියක් ගෙවීමේ තිරණයකට එළඹීමේදී සමාගම එම කරුණ හා අදාළ සිද්ධියේ උපරිම සද්භාවය හා නීත්‍යානුකූල පසුබිම පිළිබඳව තීරණය කරණගනු ලබන බව ඉතා වගකීමෙන් දැනුම් දෙන බවයි. (සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.)

Softlogic

දුම්රිය අනතුරුට ලක්වූ 35 හැවිරිදි මේ පුද්ගලයාට සොෆ්ලොජික් ලයිෆ් ලයිෆ් රක්ෂණ සමාගමෙන් ලබාගත් රක්ෂණ ඔප්පුවට අනුව සදාකාලික අර්ධ අබලතා ප්‍රතිලාභය නොගෙවූ බව ශ්‍රී ලංකා මිරර් අප ඔහුගෙන් කළ විමසීමකදී කියා සිටියේය.

ඔහු මේ සම්බන්ධයෙන් අදාළ රක්ෂණ සමාගම විසින් ඔහුවෙත යොමුකරන ලද ලිපියද අප වෙත යොමු කළේය.

එම ලිපියට අනුව ඔහුට රක්ෂණ ප්‍රතිලාභය ලබා නොදීමට ප්‍රධාන වරද ලෙස දක්වා ඇත්තේ ඔහු විසින් සොෆ්ලොජික් ලයියිෆ් (Softlogic Life) රක්ෂණ ආයතනයේ රක්ෂණය ලබා ගැනීමට පෙර රක්ෂණයක් ලබා තිබූ බව හෙළි නොකිරීමය.

Softlogic Life 7

සොෆ්ලොජික් වන්දි අනතුර ලීගල් නම් විතරයි

එසේම එහි දිගින් දිගටම දක්වා ඇති කරුණු අනුව පෙනී යන්නේ සොෆ්ලොජික් ලයිෆ් වන්දි ගෙවනු ලබන්නේ නීත්‍යානුකූල අනතුරු සඳහා පමණක් බවයි. සොෆ්ලොජික් ලයිෆ් ආයතනය විජේරත්න මහතා වෙත යොමුකර ඇති ලිපිය පහත දැක්වේ.

කෙසේවුවද, ඉන්දික මහතා අප වෙත කියා සිටියේ එසේ තමා විසින් සොෆ්ලොජික් ලයිෆ් (Softlogic Life) රක්ෂණ ආයතනයෙන් රක්ෂණයක් ලබා ගැනීමට පෙර රක්ෂණයක් ලබාගත් ආයතනයෙන් රුපියල් ලක්ෂ 100ක වන්දියක් තමාට ගෙවූ බවයි. සොෆ්ලොජික් ලයිෆ් (Softlogic Life) රක්ෂණ සමාගමෙන් ලබාගෙන ඇති රක්ෂණයට අනුව තමාට රුපියල් ලක්ෂ 75ක් ලැබිය යුතු බවද විජේරත්න මහතා පෙන්වාදෙයි.

මේ අතර, ඔහු කියා සිටියේ තමා ගස් කපන්නකු බවත්, තමාට අදාළ රක්ෂණය සඳහා ගෙවූ රුපියල් 25,000/- ක පමණ වාරිකය මාසිකව ගෙවිය නොහැකි බවත් කියමින් වැරදි චිත්‍රයක් මැවීමට අදාළ රක්ෂණ ආයතනයට පක්ෂ පිරිසක් උත්සාහ කරන බවයි.

කෙසේවුවද, තමා එම සමාගමට රුපියල් 25,000/- බැගින් රක්ෂණ වාරික 7කට නොඅඩු ප්‍රමාණයක් ගෙවා ඇති බවත්, සිය වන්දි මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරන තෙක්ම එම මුදල ගෙවූ බවද ඔහු අප සමඟ කියා සිටියේය.

ඔහු කියා සිටියේ තමා ගස් කපන්නකු නොව ලී වෙළෙන්ඳකු බවයි. එම ව්‍යාපාරයෙන් තමා මසකට රුපියල් 250,000/- ක පමණ ආදායමක් ලබන බවද විජේරත්න මහතා සඳහන් කළේය.

එබැවින් මෙවැනි රක්ෂණ වාරිකයක් ගෙවීම තමාට එතරම් අපහසු දෙයක් නොවන බවද කී ඔහු සොෆ්ලොජික් ලයිෆ් (Softlogic Life) රක්ෂණ ආයතනයට විරුද්ධව ඉදිරියේදී සිවිල් අධිකරණක නඩු පවරන බවද කියා සිටියේය.

සමාජ මාධ්‍ය තුළ රක්ෂණ සමාගම් විසින් රක්ෂණ වන්දි ගෙවීම් පැහැර හැරීමේ සිද්ධි පිළිබඳ පලවන පොස්ට්ටු මේවන විට සුලබ දසුනක් වී තිබේ.

එසේම එසේ රක්ෂණ වන්දි නොලැබීම සම්බන්ධයෙන් අසාධාරණයට ලක්වූවන් විසින් නගනු ලබන හඬ රක්ෂණ සමාගම් විසින් අපහාස නඩු ගොනුකර යටත් කිරීමේ සිද්ධිද මේවන විට බහුලව ඇති බව ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවිය.

Softlogic Life 5Softlogic Life 5

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top