මේ කුමන්ත්‍රණය පිටුපස මෙරට ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේ ඉදිරියෙන් සිටින සමාගමක් සිටින බවද එම සමාගමට ශ්‍රීලංකන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ සිටින සේවකයන්ගේ ද සහය ඇතැයි වාර්තා වේ.
අදාළ සමාගම ඉදිරියේදී භාණ්ඩ ප්‍රවාහනය ඉලක්කකර A320 ගුවන් යානයක් හා A330 ගුවන් යානා දෙකක් තරගකාරී මිල ගණන් යටතේ ගෙන්වීමට සැලැසුම් කර තිබීම මේ කුමන්ත්‍රණයට හේතුවී තිබේ.
අදාළ, සමාගම පසුගිය කාලයේදී ශ්‍රීලංකන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ නිලධාරීන් හා එක්ව එම අංශය වෙත ලැබුණු ප්‍රවාහන කොන්ත්‍රාත්තු ද සූක්ෂම ලෙස ලබාගත් අවස්ථා ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවකයෝ පවසති.
ගුවන් නියමුවෝ විරුද්ධ කතාව බොරුවක්
මේ අතර, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ගෙන්වීමට ශ්‍රීලංකන් ගුවන් නියමුවන් විරුද්ධ බවට පැතිර ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අප ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් කිහිපදෙනෙකුගෙන් කළ විමසීමේදී ඔවුන් කියා සිටියේ අදාළ තීරණය ඉතා හොඳ එකක් බවයි.
කෙසේවුවද, එසේ ගුවන් යානා ගෙන්වීමේ වරදක් නොවන බව පැවසූ ඔවුන් ඒවා ගෙන්වීමේදී නියම මිල ගණන් වලට ලබා ගැනීමට කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නේය.
කෙසේවුවද, ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධ ගනුදෙනු වලට එතරම් හොඳ ඉතිහාසයක් නැති බවද ඔවුහු පැවසූහ.
ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමේ යානා 10 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගෙන එය ඔස්ට්‍රේලියාවේ බැංකු ගිණුමක් හරහා විශුද්ධිකරණය කළ බවට හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මියට චෝදනා එල්ලවූ අතර ඒ සම්බන්ධ නඩුව මේවන විට ක්‍රියාත්මක වෙමින් තිබේ.
මාළු බිස්නස් එක Expo Aviation (Fits Air) බිලීබායි
මේ අතර, මෑතකදී මසකට මාළු ටොන් 80ක් ශ්‍රීලංකන් ගුවන් සමාගම හරහා ප්‍රවාහනය කිරීමට එම සමාගමේ භාණ්ඩ ප්‍රවාහන අංශය හා සාකච්ඡාවක් පැවැතී ඇති අතර, එයට ශ්‍රීලංකන් කාර්ගෝ සමාගම කල්මරමින් සිටිම හේතුවෙන් එම අවස්ථාව Expo Aviation (Fits Air) විසින් හිමිකරගෙන ඇති බව ද මේ අතර වාර්තා වේ.