May 03, 2021

කැරපොතු තොසේ, සළබ නූඩ්ල්ස් වික්ක සරස්වතී ලොජ් - කරි පොට් ට දඩ

කැරපොත්තන් හා සළබයන් සමඟ ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් කොල්ලුපිටියේ පිහිටි කරි පොට් (Curry Pot) අවන්හල හා බම්බලපිටියේ පිහිටි සරස්වතී ලොජ්ට රුපියල් 10,000/-ක දඩයක් ද පාරිභෝගිකයන්ට රුපියල් 25,000/- ක අලාභයක් ද ගෙවන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (03) නියෝග කළේය. 

ඒ පාරිභෝගිකයන් දෙදෙනෙකු විසින් කොළඹ මහ නගර සභාවේ ආහාර පාලන ඒකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී. ලාල් කුමාර මහතා හමුවේ කරන ලද පැමිණිල්ලක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (03) විභාගයට ගත් අවස්ථාවේදීය.
 
Uber Eats හරහා කරි පොට් වෙතින් ඇනවුම් කළ නූඩ්ල්ස් එකක සළඹයකු සිටි බවට කවින්ද්‍රා නිශාමනී නැමැත්තියක් විසින් කොළඹ මහ නගර සභාවේ ආහාර පාලන ඒකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත ගොනුකර තිබූ පැමිණිල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී කරි පොට් ආයතනයේ හිමිකරුබව කියමින් පෙනී සිටි දිනේෂ් සිල්වා අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත්තේය.
 
එසේම, සරස්වතී ලොජ් වෙතින් ගත් මසාලා තෝසයක කැරපොත්තකුගේ භාගයක් තිබූ බවට පාරිභෝගිකයකු කොළඹ මහ නගර සභාවේ ආහාර පාලන ඒකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමුවේ කර තිබූ පැමිණිල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී එම හෝටලයේ හිමිකරු වන සෝමසුන්දරම් දේවදාස් නැමැත්තා විසින් අදාළ වරද පිළිගනු ලැබිණි. 
 
සබැඳි පුවත්
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top