Sep 30, 2021

බැංකුවල ඩොලර් නෑ; වරායේ තිබූ කිරිපිටි ප්‍රතිඅපනයනය කෙරේ!

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශයට ප්‍රති අපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.

එම අනයනකරුවන් මෙසේ කියා සිටින්නේ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස්කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් වෙත ඊයේ (29) නිදහස් කර තිබියදීය.

ආනයනකරුවන් හා වරාය අමාත්‍යවරයා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ද අනාවරණය වුයේ පෞද්ගලික බැංකු මගින් ඩොලර් නිකුත්වීම ප්‍රමාදවන බවය.

පෞද්ගලික බැංකු ඩොලරයක් රුපියල් 235 සිට 237 වැනි මිල ගණන් වලට ඊයේ දිනයේද විකුණා ඇති බව මේ අතර ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

කෙසේවුවද, ආනයන කරුවන් පවසන්නේ අද දක්වාම එම ගැටලුවට විසඳුමක් නොලැබුණු බැවින් කොළඹ වරායේ රඳවා ඇති කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශයට ප්‍රතිඅපනයනය කිරීමට අපේක්ෂා කරන බවයි.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය මහතා මාධ්‍යවෙත පවසා ඇත්තේ කිරිපිටි නරක්වීමේ අවදානමක් ඇති බැවින් එවැනි පියවරක් ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයන බවයි.
මාස 3කට ආසන්න කාලයක සිට පවතින මෙම කිරිපිටි හිඟයට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් ජනතාවට අදත් කිරිපිටි මිලදීගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top