Oct 13, 2021

දකුණු ආසියාවේ වැඩිම ගෑස් මිල ලංකාවේ බව හෙළිවෙයි!  Featured

පාකිස්තානය හැරුණු විට දකුණු ආසියාතික රටවල් අතරින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ඉහළම මිල මෙරටින් වාර්තා වන බව අන්තර්ජාතික සංඛ්‍යාලේඛන සඳහන් කරයි.

එම සංඛ්‍යාලේඛන සඳහන් කරන අන්දමට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය යන දකුණු ආසියාතික රටවල පවතින්නේ ශ්‍රී  ලංකාවට වඩා අඩු මිලකි. 

මේ වනවිට ඉන්දියාව තුළ කිලෝ ග්‍රෑම් 14.2ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉන්දියානු රුපියල් 884ක් වේ. 

එම මුදල ශ්‍රී  ලංකා රුපියල් 2,352.77ක අගයක් ගනී.

“ලක්නව්” නගරයේ ගෑස් සිලින්ඩරයක් ඉන්දියානු රුපියල් 922.50කි. 

එය ශ්‍රී  ලංකා  මුදලින් රු. 2,453.85ක ඉහළ අගයක් ගනු ලබයි. 

අදාළ සංඛ්‍යා ලේඛනවලට අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල බංග්ලාදේශයේ මුදල් ඒකකය වන ටකා 5,917ක් වන අතර එය ශ්‍රී  ලංකා මුදලින් රුපියල් 1,381.69ක් වේ. 

බංග්ලාදේශ රජයට අයත් බංග්ලාදේශ පෙට්‍රෝලියම් කොපරේෂන් (BPC) විසින් සපයනු ලබන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් එම මිල ගන්නා අතර පෞද්ගලික සමාගම් විසින් සපයනු ලබන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වන්නේද රුපියල් 2,281.50කි. 

නේපාලය තුළද කිලෝග්‍රෑම් 14.2ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නේපාල රුපියල් 1,450ක් වන අතර එය ශ්‍රී  ලංකා මුදලින් රුපියල් 2,407කි. 

භූතානය තුළද ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වන්නේ භූතාන මුදල් ඒකකය වන බී.ටී.එන්. (BTN) 982කි. එය ශ්‍රී  ලංකා මුදලින් රුපියල් 2,612.12ක් වේ. 

පාකිස්තානයේ පමණක් කිලෝග්‍රෑම් 11.8 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පාකිස්තානු රුපියල් (Pakistani rupee) 2,403.55ක් වන අතර එය ශ්‍රී  ලංකා මුදලින් රුපියල් 2,812.15කි. 

එහෙත් පාකිස්තානය තුළ ශ්‍රී  ලංකාවට වඩා ඉහළ වැටුප් සහ ආදායම් මට්ටමක් තිබෙන බවට සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ. 

මේ වනවිට මෙරට ලිට්රෝ වර්ගයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,675ක් වන අතර ලාෆ් වර්ගයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,840ක් වේ. 

මූලාශ්‍රය - මව්බිම   

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top