Oct 13, 2021

සීනි හිඟයක්; පාලන මිලත් ගැලවෙයි; දැන් සීනි 138 යි Featured

සීනි පාලන මිල ද නුදුරේදීම ඉවත්වනු ඇතැයි රජයේ අභයන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
ඒ සීනි පාලන මිල ඉක්මවා වෙළෙඳුන් සීනි අලෙවි කරන බවට ජනතාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට සිදුකරනු ලබන පැමිණිලි ඉහලයාම නිසාය.
 
ඊයේ (12) වන විට සීනි තොග මිල රුපියල් 130ක් ලෙසත් සිල්ලර මිල රුපියල් 138ක් දක්වාත්  වැඩි වී තිබූ බව පිටකොටුව තොග වෙළෙන්දෝ ප්‍රකාශ කරති.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සැප්තැම්බර් මස දෙවැනි දින නිකුත් කළ පාලන මිල ගැසට් නිවේදනයට අනුව සුදු සීනි සිල්ලර මිල රුපියල් 122ක් කි. 
 
පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 125කි. දුඹුරු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ල මිල රුපියල් 125කි.

මේ අතර, සීනි ආනයනය කිරීමට අවසර දී ඇතත් ඩොලර් හිඟය නිසා ණය වර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් මතුවීම හේතුවෙන් සීනි ආයනයනය කිරීමට නොහැකි වී ඇති බව ආනයනකරුවෝ මාධ්‍යට අනාවරණය කර තිබේ.
 
මේ නිසා ඉදිරියේදී සීනි හිඟයක්ද ඇතිවිය හැකි බවට ආනයනකරුවෝ අනතුරු ඇඟවීමක්ද කරති.

ලෝක වෙළෙඳපොළේද සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකා ඩොලර් 550ක් දක්වා වැඩි වී තිබේ. 
 
එම නිසා සීනි කිලෝග්‍රෑමයක් වරායෙන් නිදහස් කරගන්නා විට රුපියල් 116ක් වන බවද ආනයනකරුවෝ පෙන්වා දෙති. 
 
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගැසට් නිවේදනයට අනුව ආනයනකරු විකිණිය යුතු උපරිම තොග මිලද රුපියල් 116කි.

කෙසේ වෙතත් පැල්වත්ත, සෙවණගල, ඇතිමලේ හා හිඟුරාන සීනි කර්මාන්තශාලාවලින් නිෂ්පාදනය කරන සීනි තොගද සතොස හා සමුපකාර සමිති සඳහා ලබාදෙයි. මෙම කර්මාන්තශාලාවල දේශීය ගැනුම්කරුවන් දසදෙනකු ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ට සීමා සහිතව සීනි නිකුත් කරන බව ලංකා සීනි සමාගම පවසයි.

පෞද්ගලික ගැනුම්කරුවන් සඳහා ඔක්තෝබර් මස සීනි මෙට්‍රික්ටොන් 2000ක් නිකුත් කර ඇති අතර අගෝස්තු මාසයේදී මෙට්‍රික් ටොන් 10,000ක් නිකුත් කර ඇත. 
 
පාලන මිල පැනවීමෙන් පසු ගැනුම්කරුවන්ට සීනි නිකුත් කිරීම සීමා කළ බව ලංකා සීනි සමාගමේ සභාපති ජනක විමලචන්ද්‍ර ‘අරුණ’ පුවත්පතට පවසා තිබිණි. 
 
එසේම සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමක් සිදුවන්නේදැයි අවධානයෙන් සිටින බව ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් සීනි ආනයනය සඳහා පනවා ඇති සත විසිපහේ බද්දද අද (13) සිට අහෝසි වීමට නියමිතය.

මේ අතර, පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළෙඳසල් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් ඊයේ (12 ) සිට විමර්ශන ආරම්භ කළ බව එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කරයි. 
 
කෙසේවුවද, ඊයේ දිනයේදී මුළු කොළඹ දිස්ත්‍රික්කය තුළම එසේ සිදු කර ඇති වැටලීම් ගණන 10ක් බව පැවසේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top