Sep 06, 2022

ජොනීගේ 'කරා' බිත්තර අරන් රජගෙදරට ; පාන් වැඩි කරන්නෑ ලු? Featured

පාන් රාත්තල රුපියල් 300 දක්වා ඉහල ගොස් නැතැයි එය කතාවක් පමණක් යැයිද මෙහිදී සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසූ බව දිනමිණ වාර්තා කරයි.

ඔවුන් මේ බව පවසා ඇත්තේ ඊයේ (05) දින වෙළෙඳ වාණිජ හා ආහාර සුක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා සමග පැවති රැස්වීමකින් පසුවයි.

මෙහිදී ඇමතිවරයා පවසා තිබුණේ තුර්කිය සහ ඩුබායිවලින් ඇණවුම් කර ඇති තිරිඟු පිටි තොග 15 වැනිදා මෙරටට ලැබීමට නියමිත බවත්, ඒ අනුව තිරිඟු පිටි හිඟයක් ඇති නොවන බවයි. එමෙන්ම මේ මොහොතේ තිරිඟු පිටි මිල වැඩි කිරීමට කිසිඳු අවශ්‍යතාවක් නැති බව ද තිරිඟු පිටි සඳහා පාලන මිලක් පැනවීම ප්‍රායෝගික නොවන බව ද ඔහු අවධාරණය කර තිබේ.

කෙසේවුවද, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට මේවන විට පාරිභෝගික ප්‍රශ්න බොහොමයකට විසඳුම් ලබාදීමට නොහැකිවී ඇති බවට පාරිභෝගිකයින්ගෙන් චෝදනා එල්ලවෙමින් තිබේ.

ඒ මහතා විසින් පසුගියදා අත ගැසූ බිත්තර මිල පාලනය කිරීම සම්බන්ධ ප්‍රශ්නය මේවන විට විසඳීමට සිදුව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව ද වාර්තා වේ.

ඒ අනුව බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදාදා (07) විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.

මේ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන අතර බිත්තර සඳහා පනවා ඇති පාලන මිලට සිය නිෂ්පාදන ලබාදිය නොහැකි බව නිෂ්පාදකයන් විසින් ජනාධිපති කාර්යාලයට දැනුම් දීමෙන් පසුව මෙය කැඳවා ඇතැයි වාර්තා වේ.

නිෂ්පාදකයන් එම පාලන මිල ඉවත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව පැවසේ.

එසේ නොකරන්නේ නම් බිත්තර පාලන මිල රුපියල් 55ත් - 60ත් අතර මුදලක් පනවමින් ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙස ඔවුන් ඉල්ලා ඇති බව පැවසේ.

මේ අතර, වෙළෙඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනය සංශෝධනය කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ද පෙන්වා දී ඇති බව පැවසේ.

එය ඉදිරි සතියේ දී සිදු කිරීමට නියමිත අතර ඊට පෙර බිත්තර නිෂ්පාදකයන් සමග සාකච්ඡා කිරීමට ද අධිකාරිය සූදානමින් සිටින බව වාර්තා වේ.

කෙසේවුවද, බිත්තර නිෂ්පාදකයින් බහුතරයක් බිත්තර පාලන මිලට ලබාදීමට එකඟවී ඇතත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ දේශපාලන ආධාරකරුවකු වන බිත්තර ව්‍යාපාරිකයකු මේ අවුල පටලවමින් සිටින බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

ඔහු හිටපු අමාත්‍යවරයාගේ මැර වැඩ සම්බන්ධයෙන් නම ගිය අයකු බවද පැවසේ.

බිත්තර මිල පාලනය කළේ එකඟතාවයකින් - ඇමති

මේ අතර බිත්තර සඳහා පාලන මිලක් නියම කළේ බිත්තර නිෂ්පාදකයන් සමග ඇති කර ගත් ලිඛිත එකඟතාවකින් අනතුරුව බැවින් එම පාලන මිල ගැසට්ටුව කිසිදු හේතුවක් නිසා ආපසු හරවා නොගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා කියයි.

එම නිසා බිත්තර සඳහා මෙලෙස පාලන මිලක් නියම කර ඇත්තේ අමාත්‍යාංශයේ හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිතු මනාපෙට නොවන බවද ඇමැතිවරයා සඳහන් කරයි.

නලින් මහතා ජා-ඇල දඬුගම පිහිටි සිය කාර්යාලයේදී පසුගිය 04 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පවසා තිබිණි.

රුපියල් 65 ක් වැනි ඉහළ මිලකට අලෙවි වූ බිත්තරයක මිල අද වනවිට රුපියල් 50ට අඩුවෙන් පාරිභෝගිකයාට ලබාදීමට හැකියාව ඇති වී තිබෙන බවද ඔහු එහිදී පවසා තිබිණි.

සබැඳි පුවත්

  තිරිගු පිටි මිල වැඩි කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ - ඇමති

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top