Sep 15, 2022

දිගටම ලංකාව හා වැඩකරන බව පවර්චයිනා කියයි Featured

වත්මන් දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලාංකීය ජනතාව සමඟ පවර්චයිනා (PowerChina) සමාගම ස්ථිරව සිටින බව එහි ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත චන් ටිං මහතා කියයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ණය ආපසු නොගෙවීමේ ගැටලුව ඇතුළු කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක පවර්චයිනා හි ව්‍යාපෘති අත්හිටුවා ඇත්දැයි 'ශ්‍රී ලංකා මිරර්' කළ විමසුමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

චයිනා ඉන්ටර්නැෂනල් ප්‍රෙස් කමියුනිකේෂන් සෙන්ටර් - CIPCC (China International Press Communication Center (CIPCC) 2022 මාධ්‍ය වැඩසටහනට එක්ව සිටින මාධ්‍යවේදීන් හා පවර්චයිනා ප්‍රධානීන් අතර එම සමාගමේ බීජිංහි ප්‍රධාන කාර්යාලයේ පසුගිය 07 වැනිදා පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ සම්බන්ධ තවත් කරුණු හෙළිවිය.

එහිදී, මොරගහකන්ද ජලාශය, කළුගඟ ජලාශය වැනි සැලකිය යුතු ව්‍යාපෘති ඇතුළුව සිය සමාගම විසින් මේවන විට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති 14ක් නිමකර ඇති බව දකුණු ආසියාවේ, උප කලාපයේ ප්‍රධානියා සහ නේපාලයේ ප්‍රධාන නියෝජිතවරියවන ෂූ ෂියාඕයුන් මහත්මිය පැවසීය.

එසේම දැනට ව්‍යාපෘති 5ක වැඩ සිදුකෙරෙමින් ඇති බව ඇය කියා සිටියාය.

එය වාරිමාර්ග ව්‍යාපෘති 2ක් හා ජල සැපයුම සඳහා 3ක් වශයෙන් ක්‍රියාත්මක බවත් ශ්‍රී ලංකාව තුළ දිගටම වැඩ කරන බවත් ඇය කීවාය.

මේවන විට පවර්චයිනා විසින් ක්‍රියාත්මක කරන විශාලතම ව්‍යාපෘතිය වන්නේ මහනුවර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියයි. එය ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන විශාලතම ජල සම්පාදන ව්‍යාපෘතියද වේ.

ඊට අමතරව කොළඹ නගර ව්‍යාපෘතියේ දකුණු කොටසේ ජල ව්‍යාපෘතිය, අඹතලේ නිෂ්පාදන පහසුකම් ව්‍යාපෘතියේ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සහ බලශක්ති ඉතිරිකිරීම, මොරගහකන්ද ජලාශයේ සහ කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ (KMTC) සම්බන්ධක උමං මාර්ගය ඉදිකිරීම හා බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීම සෙසු ව්‍යාපෘති වේ.

(කැළුම් ශිවන්ත - බීජිං සිට)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top