Sep 15, 2022

ඇමතිලා සල්ලිවලට අරං බිත්තර මිල පාලනය කරණ කුකුල් සරත්! Featured

මෙරට බිත්තර මිල පාලනය කරනු ලබන්නේ බිත්තර නිෂ්පාදයෙන් 30%ක පමණ ප්‍රමාණයක් සපයනු ලබන කුකුල් සරත් නැමැත්තෙකු බව ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිකර ගත හැකි විය.

පාර්ලිමේන්තු ඡන්දවලදී තෝරාගත් අපේක්ෂකයන්ගේ ඡන්ද ව්‍යාපාර සඳහා මිල අධික සුකෝපභෝගී මෝටර් රථ ඇතුළුව මුදල් වියදම් කරනු ලබන අදාළ පුද්ගලයා මැතිවරණවලින් පසුව අදාළ අපේක්ෂකයන් සිය ව්‍යාපාරයෙන් අනිසි ලාභ ලබා ගැනීමේ කටයුතු සඳහා භාවිතා කරනු ලබන බව වාර්තා වේ.

ඔහු විසින් හිටපු අමාත්‍යවරුන් මෙන්ම වත්මන් අමාත්‍යවරුන්ද මේ සඳහා භාවිතා කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.

බිත්තර නිෂ්පාදකයින් හා පාරිභෝගික අධිකාරිය අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී මෙරට බිත්තර නිෂ්පාදනයෙන් 70%ක පමණ දායකත්වයක් ඇති බිත්තර නිෂ්පාදකයින් බිත්තර මිල අඩු කළහොත් අදාළ පුද්ගලයාගෙන් මරණ තර්ජන එල්ලවන බවත් හෙළිකර තිබිණි.

එසේ එක්නිෂ්පාදකයකුට ඔහු විසින් දුරකථනය ඔස්සේ සිදුකළ තර්ජනයක් හඬපටයක්ද එහිදී හෙළිකර තිබේ.

බිත්තරවලට පාලන මිලක් දැම්මයි අමරවීරගෙන් නිලධාරීන්ට කුණු බැණුම්

කෙසේවුවද, බිත්තරවලට පාලන මිලක් යෙදීමට කටයුතු කිරීම හරහා බිත්තර හා කුකුළු මස් කර්මාන්තය බිඳ දැමීමට කටයුතු කරණ බවට චෝදනා කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

" බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයන් මුහුණපාන ගැටලු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යන අංශවල නිලධාරීන් සමග ඇමැතිවරයා සාකච්ඡාවක් පවත්වන ලදී.

මාලදිවයින ඇතුළු රටවල් රැසකින් කුකුළු මස් සඳහා විශාල ඇණවුම් ලැබී ඇතත්, මෙරට කුකුළු මස් කර්මාන්තය බිඳවැටී තිබීම නිසා එම ඇණවුම් යැවීමට නොහැකිවී ඇතැයි කුකුළු මස් නිෂ්පාදකයෝ මෙම සාකච්ඡාවේදී කියා සිටියහ. මෙම තත්ත්වය නිසා දින 45 කින් මෙරටට ඩොලර් විශාල ලෙස උපයා ගැනීමේ අවස්ථාව අහිමිවී ඇතැයිද ඔවුහු පැවසූහ.

බිත්තර සඳහා පාලන මිලක් නියම කළ ක්‍රමවේදය කුමක්දැයි ඇමැතිවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේ ඔවුන් කියා සිටියේ එවැනි ක්‍රමවේදයක් පිළිබඳව තමන් නොදන්නා බවය.

පාලන මිලක් නියම කිරීම සම්බන්ධව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, කුකුළු මස්,බිත්තර කර්මාන්තයේ නිරත පිරිස සමග සාකච්ඡා කළේ දැයි ඇමැතිවරයා විමසීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කියා සිටියේ ඔවුන් සමග සාකච්ඡා නොකළ බවය.

සත්ත්ව ආහාර මිල ගණන් ඉහළ යෑම නිසා බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 52 ක් වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී කියා සිටියහ."

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී මීට පෙරද බිත්තර හෝ කුකුළුමස් අපනයනයෙන් මෙරටට ලැබී ඇත්තෙත් සොච්චම් ඩොලර් ප්‍රමාණයක් බවත්, කුකුළු කෑම ආනයට එම මුදල මෙන් 10 ගුණයක මුදලක් වැය කර ඇති බවත් හෙළිකර ගැනීමට ශ්‍රී ලංකා මිරර් හට හැකිවිය.

කුකුළු මස් මිල ඊයෙත් 50 කින් වැඩිකරයි!

මේ අතර, කුකුල් මස් අලෙවිකරුවනගේ වෙළෙඳ සංගම් ඊයේ (14) සිට කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක සිල්ලර මිල රුපියල් 50කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑම් එකක නව මිල දැක්වෙන්නේ රුපියල් 1,450ක් ලෙසයි.

සබැඳි පුවත්

ජොනීගේ 'කරා' බිත්තර අරන් රජගෙදරට ; පාන් වැඩි කරන්නෑ ලු?

නීතියට අවනත නැති පේජ්ලාගේ රත්තරන් බිත්තර දාන කිකිළියෝ !

බිත්තර මිලේ වෙනසක් නැහැ - වෙළඳ ඇමති

බිත්තර - කුකුළු මස් නිෂ්පාදකයින් පාරිභෝගික කටයුතු අධිකාරියට

සඳුදා සිට බිත්තර මිල බහියි

බිත්තර වලට උපරිම මිලක්!

 

 

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top