Sep 17, 2022

හැරී හොර අරක්කු විකුණන බවට චෝදනාවක්!

සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරල් එම්.ජේ. ගුණසිරි මහතා ඉවත් කරන ලෙස බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඔවුන් පෙන්වාදී ඇත්තේ වත්මන් කොමසාරිස්වරයා විසින් දූෂණ අක්‍රමිකතා හේතුවෙන් දිනකට රුපියල් මිලියන හාරසියයක සුරාබදු ආදායමක් රටට අහිමි කරන බවයි.

සුරාබදු කොමසාරිස් හා එම දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් සොයා බලා ඔවුන්ගේ වත්කම් පරික්ෂා කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙස ද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

සුරාබදු ආදායම විවිධ ක්‍රම මගින් අහිමි කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ කොමිසමක් මගින් විමර්ශනයක් කරන ලෙස සංගමයේ සභාපති අජිත් උඩුගම පෙන්වා දෙයි.

මත්පැන් බෝතල සඳහා ආරක්ෂිත ස්ටිකර ඇලවීමේ නීතියද අකුරට ක්‍රියාත්මක නොකරන බවටද ඔහු චෝදනා එල්ලකර ඇති බව පැවසේ.

හැරීගේ හොරේ...

විශේෂයෙන් ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා සභාපති ධූරය දරණ Distilleries Company of Sri Lanka PLC (DCSL) හි කළුතර නිෂ්පාදනගාරයේ නිපදවන මත්පැන් දකුණු පළාත තුළ ස්ටිකර් නොමැතිව බෙදා හරින බවටද චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ.

උතුරු පළාතටද ආරක්ෂිත ස්ටිකර් නොමැති මත්පැන් බෝතල් අලෙවි කිරීමට මත්පැන් නිෂ්පාදනාගාරයක් කටයුතු කිරීම සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනද නතර වී ඇති බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි පැවසේ.

දූෂණ හා වංචා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කාර්මික අපරාධ වාර්තා ලෙස ඉදිරිපත් කරන ලෙසද සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සුරාබදු නිලධාරින්ට දැනුම් දී ඇති බවටද එම සංගමය හෙළිකර ඇත.

එම නිසා නිලධාරින් නීතිය ක්‍රියාත්මක කිරීමේ අකමැත්තක් ඇති බවද සභාපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන එම සංගමය පෙන්වා දෙන්නේ දැඩි විනයක් ඇති අවංක පුද්ගලයකු සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරල්වරයා තනතුරට පත් කළ යුතු බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top