Sep 19, 2022

පොත් දැන් බැංකුවේ සල්ලි මිටිවගේ; කලින් 500 ඒවා දැන් 1500යි

මේ දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අලුතින් මුද්‍රණය කළ පොත්වල මිල දෙගුණයක් හෝ ඊටත් වඩා වැඩිවී තිබේ.

මේ අතර, සරසවි ප්‍රකාශන සමාගමේ ප්‍රකාශන කළමනාකරු ශ්‍රීපාලි පෙරේරා මහතා එය සනාථකරමින් කියා සිටින්නේ 2021 දී රු. 500කට මිල නියම කළ පොතක් සාමාන්‍ය ප්‍රකාශකයකුට නම් මිල කිරීමට වන්නේ රු. 1500ක් වැනි මිලකට බවයි.

සරසවි ප්‍රකාශන ආයතනය කඩදාසි ආනයනය කිරීමත් කරන නිසා ගිය අවුරුද්දේ රු. 500කට මිල කළ පොතක් රු. 1200ක් වැනි මුදලකට මිල කර ඇති බව ඔහු කියා සිටී.

පිටරටින් ආනයනය කරන කඩදාසි, තීන්ත, මුද්‍රණ ප්ලේට් ඇතුළු අමුද්‍රව්‍ය මිල සියයට 300කටත් අධික මිලකින් ඉහළ ගොස් ඇති සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි මහතා කියයි.

පොත්වල මිල නියම කිරීමේදී ප්‍රකාශකයාගේ ලාභය සීමා කර හැකි අඩුම මිලක් නියම කිරීමට තීරණය කර ඇති බවත් ඔහු පවසා සිටී.

කලකට පෙර තොග වශයෙන් කඩදාසි ගෙන්වූ මුදලාලිලාත් ඒවා මිල වැඩි කරමින් විකිණීම නිසා කඩදාසි කළුකඩ මිලක් හටගෙන ඇති බවත් බොහෝ මුද්‍රණාල හිමියෝ කියා සිටිති.

ෆාස්ට් ප්‍රකාශන ආයතනයේ අධිපති ප්‍රේම් දිසානායක මහතා දේශයට අදහස් දක්වමින් පවසා ඇත්තේ රු.4500කට තිබුණු කඩදාසි රීම් එක කිහිප ගුණයකින් ඉහළ ගොස් පොත් මුද්‍රණය කරන ප්ලේට් රු. 240 සිට 1250 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙසේ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා නිෂ්පාදන වියදම හතර ගුණයකින් වැඩි වූ බවද ඔහු හෙළිකර සිටී.

අලුතින් මුද්‍රණය කරන පොත්වල මිල ඉහළ ගියත් පොත්වල පසුගිය මුද්‍රණ අඩු මිලට ලබාගත හැකි අතර ප්‍රදර්ශනයේ දේශීය ප්‍රකාශකයන්ගේ සියලුම පොත්වලට සියයට 20ක වට්ටමක් ලබාදෙන බවත් ඔහු සඳහන් කරයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top