Sep 20, 2022

ස්ටිකර් නැති අරක්කු බෝතල් අල්ලයි : හොර අරක්කු හැරීගේ දැයි සොයයි!

ආරක්ෂිත ස්ටිකර් නොමැති මත්පැන් බෝතල් රැසක් වෙළෙඳපොළෙන් සොයා ගැනීමට සුරාබදු විමර්ශකයන්ට හැකියාව ලැබී ඇතැයි වාර්තා වේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් දිනකට රුපියල් මිලියන හාරසියයක් රටට අහිමි කරන බවට බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමය ජනපතිට ලිපියක් යවමින් සිදුකර තිබූ චෝදනාව සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතාගේම නියෝගයකට අනුව සිදුකළ වැටලීම්වලින් ස්ටිකර් නොමැති මත්පැන් බෝතල් සොයාගෙන තිබේ.

ගුණසිරි මහතා බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් සිදුකරන චෝදනා සම්බන්ධයෙන් සොයා බලන්නැයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති) හා සුරාබදු කොමසාරිස් (නීතිය ක්‍රියාත්මක) යන නිලධාරීන්ට ලබාදී තිබූ නියෝග අනුව මේ වැටලීම් සිදුකර ඇතැයි පැවසේ.

ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා සභාපති ධූරය දරණ Distilleries Company of Sri Lanka PLC (DCSL) හි කළුතර නිෂ්පාදනගාරයේ නිපදවන මත්පැන් දකුණු පළාත තුළ ස්ටිකර් නොමැතිව බෙදා හරින බවටද එම සංගමය චෝදනා එල්ලකර තිබිණි.

මේ අනුව මෙසේ ස්ටිකර් නොමැතිව සොයාගෙන ඇති මත්පැන් බෝතල් අදාළ සමාගමට අයත්ඒවාදැයි සෙවීමට ද සුරාබදු විමර්ශකයන් පරීක්ෂණ අරඹා ඇතැයි වාර්තා වේ.

දූෂණ අක්‍රමිකතා හේතුවෙන් දිනකට රුපියල් මිලියන හාරසීයක සුරාබදු ආදායමක් රටට අහිමි කරන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඉවත් කරන ලෙස බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

සැබැඳි පුවත්

හැරී හොර අරක්කු විකුණන බවට චෝදනාවක්!

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top