Sep 20, 2022

ගිනි කාපු බිස්කට් කොම්පැනිවලට බඩු විකුණගන්න බැරිවී මිල අඩු කරයි!

වහාම ක්‍රියාත්මක වන පරිදි රසකැවිලි ද්‍රව්‍යවල මිල 10-13% කින් අඩු කිරීමට ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (LCMA) තීරණය කර ඇතැයි වාර්තා වේ.

ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක මිල පහත වැටී ඇති බැවින් වෙළෙඳපොළේ රසකැවිලි ද්‍රව්‍යවල මිල අඩු කිරීමට සියලු සමාගම් තීන්දුවකට ආ බව එම සංගමයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතා ඩේලිමිරර් වෙත පවසා තිබේ.

රසකැවිලි නිෂ්පාදනය සඳහා භාවිත කරන සීනි ශ්‍රේණියේ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 40 කින් පහත වැටී ඇති අතර එළවළු තෙල් කිලෝවක මිල රුපියල් 250 කින් පමණ පහත වැටී ඇත.

මේ වසරේ (2022) මැයි මාසයේ උග්‍ර වූ දේශපාලන හා ආර්ථික අර්බුදයට පෙර රසකැවිලි මිල ගණන් අද නිෂ්පාදන මිල සමඟ සසඳන විට 230% කින් ඉහළ ගොස් තිබේ.

මෙරට සියලුම තරාතිරමේ පාරිභෝගික කොටස් අතර ඉතා ජනප්‍රිය කෙටි ආහාරයක් වන මාරි බිස්කට් ග්‍රෑම් 80 පැකට්ටුවක් මීට මාස කිහිපයකට පෙර රුපියල් 30ක් වූ අතර අද වන විට එහි මිල රුපියල් 100 දක්වා වැඩිවී ඇත.

නිෂ්පාදකයින් අසාධාරණ ලෙස නිෂ්පාදන මිල වැඩි කරන බව පාරිභෝගිකයින් විසින් සොයා ගැනීම හේතුවෙන් දේශීය රසකැවිලි කර්මාන්තය පසුගිය කාලයේ දැඩි විවේචනයට ලක්වූ අතර පාරිභේගිකයන් බිස්කට් මිලදී ගැනීම විශාල ලෙස අඩුකරනු ලැබීය.

එම තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ බිස්කට් අලවිය බරපතල ලෙස බිඳවැටී ඇතැයි වාර්තා වේ.

ඇතැම් බිස්කට් සමාගම්වලට ඔවුන් ලබාගෙන තිබෙන බැංකු ණය පවා පියවා ගැනීමට නොහැකිවන පරිදි අලෙවිය අඩුවී ඇතැයි පැවසේ.

කෙසේවුවද, වෙළඳපොළ ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ බිස්කට් මිල අඩු කිරීමට අදාළ තත්ත්වය බලපා ඇති බවයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top