Pasidol
Sathosa Ad Final Sinhala
Jan 23, 2018

ඊ-පාස්පෝට් ටෙන්ඩරය උසාවි කතන්දරයක් වෙයි !

ශ්‍රී ලංකාවේ නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් මේ වන විට නීතිමය ගැටුමක් ආරම්භ වී තිබේ.

මීට හේතුවී ඇත්තේ බලධාරීන් විසින් විනිවිදභාවයකින් තොරව මේ සම්බන්ධ කොන්ත්‍රාත්තුව ‘ඩෙලාරූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට්’ නම් සමාගමකට ලබාදීමයි.

මේ හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ ක්‍රමවේදය පවත්වාගෙන යාම හා විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් පසුගිය 15 වසර පුරාවට ආගමන විගමන දෙපර්තමේන්තුව හා එක්ව කටයුතු කළ ශ්‍රී ලාංකික සමාගමක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ඩෙලාරූ සමාගම වෙත මෙම ටෙන්ඩරය ලබා දීමෙන් රජය විසින් රු. බිලියන 1.2ක් වියදම් කරන බවට පැවසෙන නමුත්, ඉහත පෙත්සම ගොනු කර ඇති දේශීය සමාගමක් වන එපික් ලංකා සමාගම පවසන්නේ තමන් හට ඊට අඩු මුදලකට ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූලව විදේශ ගමන් බලපත්‍ර ලබා දිය හැකි බවයි.

එපික් ලංකා සමාගම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික ඉංජිනේරුවන් 257 දෙනෙකු සේවය කරන දේශීය සමාගමක් වන අතර, මෙම සමාගම විසින් වසර 2003 සිට මේ දක්වා විදේශ ගමන් බලපත්‍ර මිලියන 08 ක් ලබා දී ඇත.

විදේශ ගමන් බලපත්‍ර සහ ආරක්ෂිත හැඳුනුම්පත් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ සුදුසුකම් ලත් එකම සමාගම වන්නේ ද එපික් ලංකා සමාගමයි.

ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා

වගඋත්තරකරුවන් 52 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති මෙම පෙත්සම විසින් ඉල්ලා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 14 (1) (g) වගන්ති උල්ලංඝනය වී ඇති ඉහත සිද්ධියට සම්බන්ධ නඩුව විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසයි.

ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට මෙන්ම මෙම පෙත්සම විභාග කර අවසන් වන තෙක් ඩෙලාරූ ලංකා සමාගම සමඟ කිසිඳු අවබෝධතා ගිවිසුමකට, කොන්ත්‍රාත්තු, එකඟතාවයකට හෝ වෙනත් ආකාරයේ ගිවිසුමකට එළැඹීම වළක්වමින් අධිකරණ නියෝගයක් පනවන ලෙසද පැමිණිලි පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියි.

අදාල රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපෙද්ශ අනුව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ව්‍යාපෘතිය පිරිනැමීම සඳහා විවෘත තරගකාරී ටෙන්ඩරයක් කැඳවන මෙන් ද පැමිණිලි පාර්ශවය විසින් ඉල්ලා ඇත.

කැබිනට් මණ්ඩලය නොමඟ යවලා?

මෙම ටෙන්ඩරය ඩෙලාරූ ලංකා සමාගම වෙත ලබා දීමට කැබිනට් මණ්ඩලයද නොමඟ යවා ඇති බව මෙම පෙත්සම සඳහන් කරයි.

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කර්තව්‍යය සියතට ගන්නා බව වසර 2017 දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතලපහසුකම් අමාත්‍යංශය විසින් 2017 දී ආර්ථික කළමනාකරණය සඳහා වූ කැබිනට් කමිටුව වෙත යෝජනා කර තිබුණේ මේ සඳහා විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රමානුකූලව පියවර ගෙන තිබියදීය.

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ස්වදේශ කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යංශයේ විෂය පථය යටතේ පැවතුනද මෙම කරුණ ICTA ආයතනය හා විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතලපහසුකම් අමාත්‍යංශය විසින් නොතකා ඇතැයි පැමිණිලිකාර පාර්ශවය වැඩිදුරටත් චෝදනා කර සිටියි.

ටෙන්ඩර් ඕන නෑ!

මේ අතර, මෙම ටෙන්ඩරය ඩෙලාරූ ලංකා සමාගම වෙත ලබා දීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ එම සමාගමේ කොටස් මුදල් අමාත්‍යංශයට හිමි බැවින් එය රජයට අනුබද්ධිත ආයතනයක් වන බවත් එබැවින් ටෙන්ඩර් පටිපාටියක් අවශ්‍ය නොවන බවත් ය.

කෙසේවෙතත්, පැමිණිලිකාර පාර්ශවය සඳහන් කර සිටින්නේ රජයට අනුබද්ධිත ආයතනයක් වීමට නම් එහි කොටස් 50%ක් හෝ වැඩි ප්‍රමාණයක් රජයට හිමිවිය යුතු බවයි.

කෙසේවෙතත්, ඩෙලාරූ ලංකා සමාගම සමග විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ICTA ආයතනය විසින් සිදුකළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලබාදෙන මෙන් ඉල්ලා අගමැතිවරයා විසින් 2017 මැයි 25දින කැබිනට් සංදේශයක් යොමුකර තිබේ.

නිල ලිපිලේඛන වලට අනුව, ජනපතිවරයා විසින් මෙම යෝජනාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ යොමුකරමින් බලධාරීන් වෙත නියෝග කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ කැබිනට් සංදේශයක් පත්‍රිකාවක් යොමු කරන ලෙසයි.

ඩෙලාරූ ලංකා සමාගමේ 40%ක් කොටස් හිමිකාරිත්වක් රජය සතුව පැවතියද මේ සම්බන්ධයෙන් තනි අධිකාරී ලංසු තැබීමේ ක්‍රමවේදය (single source bidding) වෙත නොයා "ස්විස් අභියෝගය” (Swiss Challenge) ක්‍රියාවලිය යටතේ ලංසු තැබීමකට හෝබහු මූලාශ්‍ර ලංසු තැබීමේ ක්‍රමවේදයක් (single source bidding) වෙත යන ලෙස ද ජනපතිවරයා නියෝග කර තිබේ.

කනගේ ගෙ හොර පාරෙ වැඩ

ජනපතිවරයා ගේ නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් 2017 ජූනි මස 13 වැනි දින අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ (අංක 17/1093/702/002-XI) කැබිනට් මණ්ඩලයට අයත් ඊ-පාස්පෝට් ව්‍යාපෘතිය විෂයය කල් තැබීය.

තත්ත්වය මෙසේ පැවතියද, ICTA ආයතනයේ එවකට කළමණාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ මුහුන්දන් කනගේ මහතා විසින් 2017 ජුනි 27 දින (හෝ ඊට ආසන්න දිනයක) අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාවක් යොමු කරමින්, ආගමන විගමන දෙපාර්තමේන්තුවට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් විසඳුමක් ලබාදීමට හා අධ්‍යයනයක් සිදුකිරීමටත් ICTA සහ ඩෙලාරූ ලංකා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට අවශ්‍ය අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top