ආරක්ෂිත ස්ටිකර් මුද්‍රණය කළ හැකි මුද්‍රණ යන්ත්‍රයක් රාජ්‍ය මුද්‍රණ සංස්ථාව ඇණවුම් කර තිබිය දී.. ආරක්ෂිත ස්ටිකර් මුද්‍රණය කළ හැකි මුද්‍රණ යන්ත්‍රයක් රාජ්‍ය මුද්‍රණ සංස්ථාව ඇණවුම් කර තිබිය දී..
Jun 12, 2017

සුරාබදු ස්ටිකර් මුද්‍රණය: සුරාබදු කොමසාරිස් 'ගේමක' ? Featured

මත්පැන් අලෙවියේ දී  රජයට අය විය යුතු බදු මුදල් ක්‍රමවත්ව අයකර ගැනීම සඳහා විශේෂ ආරක්ෂිත ස්ටිකරය (Fool proof) මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩරය නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව Madras security printers  නම්  ඉන්දීය සමාගමට ලබා දීම සඳහා පසුගිය කාලයේ ගත් උත්සාහය යළිත් ක්‍රියාත්මකව ඇති බව වාර්තා වෙයි.

මේ අයුරින් Fool proof ස්ටිකර්  ටෙන්ඩරය ඉන්දීය සමාගම වෙත ලබා දීම සඳහා උත්සාහ ගනිමින් පවතින්නේ අදාළ ස්ටිකරය ඇතුළු තවත් ආරක්ෂිත ස්ටිකර් මුද්‍රණය කළ හැකි මුද්‍රණ යන්ත්‍රයක් රාජ්‍ය මුද්‍රණ සංස්ථාව ඇණවුම් කර තිබිය දී  බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

බෝදරගම ගැන සාධාරණ සැකයක්:

A bodaragama

තවද Fool proof ස්ටිකර්  ටෙන්ඩරය ඉන්දීය සමාගම වෙත ලබා දීම සඳහා දැරෙන උත්සාහය පිටුපස වත්මන් සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම මහතා සිටින බවට  සාධාරණ සැකයක් ද මතුව ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

ඒ 2016 වසරේ  මෙම ටෙන්ඩරය පළමු වර කැඳවනු ලැබූ අවස්ථාවේ දී Madras security printers වෙත ටෙන්ඩරය ලබා දීමට වන යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වීම සිදු වූයේ බෝදරගම මහතාගේ මූලිකත්වයෙන් පවතින තාක්ෂණික කමිටුවේ නිර්දේශය මත බවත් මෙවර ද මෙම ටෙන්ඩරය එම සමාගම වෙත ලබා දීමට සුදුසු බව නිර්දේශ කළ  තාක්ෂණික කමිටුවේ මූලිකත්වය  බෝදරගම මහතා දරා ඇති බවත්  තහවුරුව ඇති නිසාය.

 මිලියන 420 කට අධික අලාභයක් :

අප වෙත වාර්තා වී ඇති වැඩිදුර තොරතුරුවලට අනුව රාජ්‍ය මුද්‍රණ සංස්ථාව අදාළ ආරක්ෂිත ස්ටිකරය මුද්‍රණය කිරීමට හැකියාව ඇති යන්ත්‍රයක් ගෙන එන පසුබිමේ  මෙම ටෙන්ඩරය ඉන්දීය සමාගම වෙත ලබා දීම තුළ පමණක් රජයට රුපියල් මිලියන 420 කට අධික අලාභයක් සිදු වීමට  නියමිත අතර අදාළ ආරක්ෂිත ස්ටිකරය පමා වීම මත මත්පැන් වෙළෙඳපොළ හරහා පමණක් රජයට මාසිකව බිලියන 100 කට ආසන්න බදු මුදලක් අයකර ගැනීමේ අවස්ථාව ද අහිමි වෙයි.

එසේම මේ වන විට තාක්ෂණික කමිටුව විසින් අදාළ ටෙන්ඩරය ලබා දීම සඳහා Madras security printers  සමාගම නිර්දේශ කර ඇති බවට එම ටෙන්ඩරය සඳහා ලන්සු තැබූ අනෙක් සමාගම් වෙත දැනුම් දී ඇත. ඒ මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් එහි අතිරේක ලේකම් ආර්. සේමසිංහ මහතා විසින් යවන ලද ලිපියක් හරහාය.

සැකසහිත අලුත් සමාගමක් වීම:

එහෙත් ටෙන්ඩරය කැඳවූ පළමු අවස්ථාවේ දී අනෙක් ඉල්ලුම්කරුවන්ගේ විරෝධතා හේතුවෙන් ඒ ගැන යළි පිරික්සන්නට බලධාරීන්ට සිදුව ඇති අතර එහි දී තීන්දු වී ඇත්තේ Madras security printers  සමාගම ටෙන්ඩරය ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා නැති බැවින් අනෙක් ඉල්ලුම්කරුවන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවට නිර්දේශ වී තිබූ අතර ජාත්‍යන්තර හොලොග්රාම් නිෂ්පාදකයන්ගේ සංගමයේ (International Hologram Manufacturers Association - IHMA) වසර 5ක සාමාජිකත්වය ලබා නොතිබීම, ISO 27001 සහ ISO 14298 තත්ත්ව සහතික නොමැති වීම, ටෙන්ඩරය සඳහා දේශීය නියෝජිතයකු ලෙස අලුතින් ලියාපදිංචි කළ M $s New Line Tech Services Ltd සමාගමක් ඉදිරිපත් කළ නමුත් එය සැකසහිත අලුත් සමාගමක් වීම ආදී කාරණා ඒ අවස්ථාවේ ඊට තීරණාත්මකව බලපා තිබිණ.

ඒ පිළිබඳ  ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සහ කැබිනට් මණ්ඩලයේ ඇති වූ සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා කළ යෝජනාවකට අනුව ටෙන්ඩරය නැවත කැඳවා ඇති අතර 2017 පෙබරවාරි 28 වනදා අදාළ ටෙන්ඩරය දෙවන වරටත් අලුතින් කැඳවන්නේ ඒ අනුවය.

 පළමු ටෙන්ඩරයේ දී සුදුසුකම් නොමැති සමාගමක් ලෙස නම් කෙරුණු Madras security printers  දෙවන වර ටෙන්ඩරය කැඳවූ අවස්ථාවේ දී ද ඒ සඳහා ඉදිරිපත්ව ඇති අතර එහි දී ඔවුන් ස්ටිකර් 1000ක් මුද්‍රණය කිරීම සඳහා ඩොලර් 5.99 ක ලන්සුවක් ඉදිරිපත් කර ඇත. (පළමු අවස්ථාවේ දී ඒ ඩොලර් 3ක අවම මිලක් ඉදිරිපත් කර තිබිණි)

වඩා අඩු ලන්සුවක් තැබූ සමාගමක් :

එහෙත් අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව Madras security printers  සමාගම මේ සඳහා නිර්දේශ කිරීමට තාක්ෂණික කමිටුව ක්‍රියාකර ඇතත් එම සමාගමට වඩා අඩු ලන්සුවක් තැබූ එනම් ස්ටිකර් 1000ක් සඳහා ඇමරිකානු ඩොලර් 4.57 ක ලන්සුවක් ඉදිරිපත් කළ සමාගමක් ද දෙවන වර ටෙන්ඩරය තුළ සිටියි. (පළමු අවස්ථාවේ දි ටෙන්ඩරය ලබා දුන්නේ අඩුම මිල ගණන් ඉදිරිපත් කිරීමේ පදනමිනි)

මේ අතර බෝදරගම මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට පසුගිය දා පත්කරනු ලැබ ඇත්තේ ද නව මුදල් ඇමැතිවරයා විසින් බවට ද තොරතුරු වාර්තා වේ.

එහෙත් මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස තවමත් සටහන්ව ඇත්තේ හිටපු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී. ගුණවර්ධන මහතාගේ නාමය වන අතර  සුරාබදු දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි කොමසාරිස් ජනරාල්වරයා ලෙස සඳහන්ව ඇත්තේ බෝදරගම මහතාගේ නමය.

(සත්හඬ - සංජය ලියනගේ)

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top