Connect with us

කලා

ජැක්සන්ගේ අවසන් කටයුතු අද රාගමදී

Published

on

ප්‍රවීණ රංගන ශිල්පියකු වන ජැක්සන් ඇන්තනි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී අද (12) සවස 3ට සිදු කෙරේ.

බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය කඩවත රාගම පාරේ අංක 90/A,58 නිවෙසට ඊයේ (11) පෙරවරුවේ රැගෙන ආ අතර අද දිනයේ අවසන් ගෞරවය සඳහා එහි තැන්පත් කර තිබේ.

ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පෙරේදා සහ ඊයේ දිනවල පැමිණි අතර කලාකරුවන්, දේශපාලනඥයන්, ආගමික නායකයන් ඇතුළු රසික රසිකාවියෝ ඒ අතර වෙති. මිය යන විට 65 වැනි වියෙහි පසු වූ ඒ මහතා අනුරාධපුර තලාව පාරේ මොරගොඩදී අනතුරකට ලක්ව අවුරුද්දකුත් මාස දෙකක කාලයක් (මාස 14ක්) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගියේය.

අනුරාධපුර තලාවේ මොරගොඩ ප්‍රදේශයේදී ඔහු සහ තවත් දෙදෙනකු ගමන් ගත් කැබ් රථය වන අලියකුගේ ගැටී 2022 වසරේ ජුලි 22 වැනිදා අනතුරට ලක්ව ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරිණි. වැඩිදුර ප්‍රතිකාර සඳහා ජැක්සන් ඇන්තනි මහතා ගුවනින් කොළඹ ජාතික රෝහලට ගෙන එනු ලැබූ අතර ඉන් අනතුරුව මාස 14ක කාලයක් එහි දැඩි සත්කාර ඒකකයේ ඒ මහතා ප්‍රතිකාර ලැබීය.

ජැක්සන් ඇන්තනී මහතා භාෂාව, සාහිත්‍යය, ඉතිහාසය, කලාව ආදි විෂයන් පිළිබඳ ගැඹුරු පරිචයක් මෙන්ම ශ්‍රී ලංකාවේ සිනමාව, වේදිකාව සහ රූපවාහිනිය දිග්විජය කළ රංගධරයෙකි. ඔහු රංගනයට අමතරව අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිර රචනය, ගායනය, නවකතා රචනය, තීරු ලිපි රචනය, ගීත රචනයට ද දක්ෂතා දැක්වීය. විචාරකයෙක්, ගවේෂකයෙක්, ඉතිහාසඥයෙක්, නිවේදකයෙක් ලෙස ඔහු ඉමහත් ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ශ්‍රී ලංකාවේ හොඳම නළුවාට හිමි සම්මානයට 16 වතාවක් උරුමකම් කියමින් ජැක්සන් කලා ලොව වාර්තාවක් පිහිටුවන්නට සමත් විය.

කුඩා කාලයේදී මල්සි යනුවෙන් මවුපියන් ඔහු හැඳින්වූ අතර හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. 

ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විදුහලට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත් විය. 

එහිදී ප්‍රථමයෙන් සිංහල භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත් ජැක්සන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය.

ජැක්සන් අන්තනී මහතා වාරුවෙන් යන මිනිසුන්, මානවයෝ, මෙතනින් මාරුවෙනු, මරාසාද්, මධුර ජවනිකා, ලෝම හංස, ධවල භීෂණ, ඇත්, මෝරා, තාරාවෝ ඉගිලෙති වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ කලා ශිල්පියෙකි.

ගුරු ගෙදර, අයෝමා, ලොකු දුව, භවදුක, භව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නිදාහය, සූරිය අරණ, මිල්ලෙ සොයා, රන්දිය දහර වැනි චිත්‍රපට ඔස්සේ තම භාවප්‍රතිභාව විදහා දැක්වූ ජැක්සන් පළිඟු මැණිකේ, ඇල්ල ළඟ වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, අකාල සන්ධ්‍යා, පිටගම්කාරයෝ වැනි රූපවාහිනි නිර්මාණ රැසකට ද දායක විය. නර්තන විෂයද ප්‍රගුණ කළ ජැක්සන් ඇන්තනී මහතා පසුකාලීනව ඇසළ කළුවර නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂණයට ද පිවිසි අතර ජුලියට්ගේ භූමිකාව, පාරාදීසය, අබා ඇඩ්‍රස් නෑ වැනි චිත්‍රපට ද අධ්‍යක්ෂණය කළේය. ඔහුගේ නිර්මාණ බොහොමයක් දේශීය මෙන්ම විදේශීය වශයෙන් සම්මානයට පාත්‍ර විය.

කලා

Miss World තරගාවලිය සඳහා එක්වූ එංගලන්ත රූ රැජින තරගයෙන් ඉවත්වෙයි

Published

on

By

72 වන Miss World තරගාවලිය සඳහා එංගලන්තය නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටි Milla Magee එම තරගයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

පෞද්ගලික හේතුවක් මත ඇය මෙසේ ඉල්ලා අස්වන බව Miss England තරගයේ අධ්‍යක්ෂවරිය වන Angie Beasley විසින් නිවේදනය කරන  ලදී.

මේ වන විටත් Milla Magee යළි එංගලන්තයට පැමිණ ඇති අතර, ඇයගේ තිරණය අනුමත කරමින් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සැමවිටම සෞඛ්‍යයට මුල්තැන ලබාදිය යුතු බවය.

මෙවර 72 වන Miss World තරගාවලිය සඳහා රටවල් 112 ක තරගකාරියන් සහභාගී වන අතර, එහි අවසන් තරගය මැයි 31 වැනිදා පැවැත්වීමට නියමිතය.

Continue Reading

කලා

2025 ජාත්‍යන්තර බුකර් සම්මානය දිනූ ”Heart Lamp”

Published

on

By

ඉන්දියානු ලේඛිකා බානු මුෂ්තාක් විසින් රචනා කරන ලද ”Heart Lamp” නැමැති කෙටිකතා සංග්‍රහය ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගෙන තිබේ.

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කන්නඩ භාෂාවෙන් ලියන ලද පළමු පොත වන්නේ ද ඇගේ මෙම ග්‍රන්ථයයි.

කන්නඩ භාෂාවෙන් ලියැවුන  ”Heart Lamp” හි කථා දීපා භාස්ති විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබේ.

1990 සිට 2023 දක්වා දශක තුනක් පුරා මුෂ්තාක් විසින් රචිත කෙටිකතා 12ක් ඇතුළත් ”Heart Lamp”, දකුණු ඉන්දියාවේ ජීවත් වන මුස්ලිම් කාන්තාවන්ගේ දුෂ්කරතා තියුණු ලෙස ග්‍රහණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය  විසින් වාර්තා කරයි.

Continue Reading

කලා

ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලට ගිය “ගැහැනු ළමයි”

Published

on

By

ශ්‍රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි’ (1978) චිත්‍රපටයේ නව  ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදන පිටපත  මෙවර ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කෙරිණි.

1978 දී තිරගත වූ මෙම සිනමා නිර්මාණයේ ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදය, මැයි 17 වන දින 2025 කෑන්ස් උළෙලේදී මෙසේ ප්‍රදර්ශනය කරනු ලැබීය.

මේ අවස්ථාවට  එහි ප්‍රධාන නළු නිළියන් වන වසන්ති චතුරානි, අජිත් ජිනදාස සහ  ශ්‍යාමා ආනන්දගේ ,  ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල් වැව මහතා ප්‍රධාන පිරිසක් සහභාගී වී සිටියහ 

චිත්‍රපට උරුම පදනම විසින් ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම සමඟ එක්ව ගැහැණු ළමයි චිත්‍රපටය ‘එල්’ඉමැජින් රිට්‍රෝවාටා’ රසායනාගාරයේදී 4ඛ් ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved