තව නොබෝ දිනකින් කොළඹදී විවෘත කිරීමට නියමිත දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගවීමට නියමිතව සිටි සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත සහභාගී නොවන බව නිවේදනය කර ඇත.
ෂාරුක් ඛාන් සහභාගී නොවීම පිළිබඳව ඔහුගේ නිල ඒජන්සි ආයතනය වන WizCraft විසින් පහත නිවේදනය නිකුත් කර ඇත:
“මීට පෙර සැලසුම් කර තිබුණද නොවැළැක්විය හැකි හේතුවක් මත ශාරුක් ඛාන් City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට සහභාගී නොවන බව කණගාටුවෙන් යුතුව අප ඔබට දැනුම් දී සිටිමු.”
ශ්‍රී ලංකාව සහ එහි සිටින රසික ජනතාව පිළිබඳව ශාරුක් ඛාන් දක්වන්නේ ඉමහත් ආදරයකි. ඒ නිසාම මෙම සුවිශේෂී උත්සවය වෙනුවෙන් සහභාගී වීමට ශාරුක් ඛාන් ඉතා කැමැත්තෙන් පසු වූ බව රහසක් නොවේ. එහෙත් නොවැළැක්විය හැකි හේතුවක් මත එම අවස්ථාවට සහභාගී වීමට නොලැබීම පිළිබඳව සිය කණගාටුව පළ කරන ශාරුක් ඛාන් City of Dreams Sri Lanka හි කළමනාකාරීත්වයට මෙන්ම තමන් වෙනුවෙන් බලා සිටි සියලු දෙනාට සිය හෘදයාංගම ස්තුතිය පුද කර සිටියි.
එමෙන්ම නුදුරු දිනයකදී City of Dreams Sri Lanka වෙත සපැමිණීමටද ෂාරුක් ඛාන් බලාපොරොත්තු වෙයි.