90 දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ “ෆ්‍රෙන්ඩ්ස්” රූපවාහිනී කතා මාලාවේ උපහාසාත්මක චරිතයක් වන ‘චැන්ඩ්ලර් බිං‘ ට පණ පෙවූ හොලිවුඩ් නළු මැතිව් පෙරී මිය ගොස් ඇත.
මිය යන විට ඔහු 54වැනි වියෙහි පසුවිය.
සෙනසුරාදා ඔහුගේ ලොස් ඇන්ජලීස් නිවසේ ටබ් එක තුළ ගිලී සිටියදී හමුවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් Warner Bros සමූහය පවසා ඇත්තේ පෙරීගේ අභාවයෙන් තමන් “අතිශය කම්පාවට පත්වූ” බවයි.
ඔහුගේ පදිංචි නිවසේ මරණ පරීක්ෂණය සිදුවෙමින් පවතින බව පොලිසිය වාර්තා කර ඇත.
1969දී ඇමරිකාවේ මැසචූසට්ස් හි උපත ලැබූ පෙරී, සිය ළමා කාලය ගත කළේ කැනඩාවේ ඔටාවා නුවරදීය.
මැතිව් පෙරී රඟපෑ “ෆ්‍රෙන්ඩ්ස්” 1994 සිට 2004 දක්වා දිව ගිය අතිශය ජනප්‍රිය කථාමාලාවක් වූ අතර, 2002 දී එය හොඳම විකට කතා මාලාවට හිමි එමී සම්මානය දිනා ගත්තේය.
පෙරී කැපී පෙනෙන චිත්‍රපට චරිත කිහිපයක් ද රගපෑ අතර, රොම්-කොම් “ෆූල්ස් රෂ් ඉන්” හි සල්මා හයේක් සමඟ ද, “ද හොල් නයින් යාර්ඩ්ස්” හි අපරාධ ප්‍රහසනයේ බෲස් විලිස් සමගද රඟපෑවේය.
වසර ගණනාවක් පුරාවට වේදනා නාශක හා මත්පැන් වලට ඇබ්බැහිව සිටි පෙරී, අවස්ථා කිහිපයකදීම පුනරුත්ථාපන සායන වලට එක්විය.