Connect with us

විශේෂාංග

“ඕවා ඇත්තටම කෙරෙයිද මහත්තයෝ?”

Published

on

ජනාධිපති අනුර කුමාර ඉකුත් බ්‍රහස්පතින්දා නව පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය ආරම්භ කරමින් ජ.වි.පෙ මූලිකවන ජා.ජ.බ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය. එහි දී ඔහු කියූ බොහෝ දේ සම්බන්ධව වෙනම කතා කළ යුතුව ඇත. දැනට මා කතා කිරීමකට වඩා ප්‍රශ්න කිරීමකට ලක් කරන්නේ, ඔහු කියූ මේ කතාවය.

“…..අප ඇති තරම් ජාතිවාදී ගැටුම්වලින් පීඩාවට පත්වී තිබෙනවා. ජාතිවාදී ගැටුම්වලින් ඇති තරම් ලේවලින් මේ මහපොළොව තෙත් වී තිබෙනවා. ගංඟා පිරෙන්න කඳුළු හෙළා තිබෙනවා. එකිනෙකා අතර අවිශ්වාසය, ක්‍රෝධය ඇති තරම් වර්ධනය වී තිබෙනවා. එනිසා අපගේ අනාගත දරු පරම්පරාවට යළිත් එවැනි රාජ්‍යයක් බිහි නොකිරීමේ වගකීම අපට පැවරී තිබෙනවා. දේශපාලනය කිරීමට අපට ඕනෑ තරම් සටන් පාඨ තිබෙන්න පුළුවන්. නමුත් කිසිවෙකුට යළි අප රටේ දේශපාලන බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් ජාතිවාදී, ආගම්වාදී සටන් පාඨ ගොඩනැඟීමට ඉඩ නොදෙන්නට අප සහතික වෙනවා.” (https://pmd.gov.lk/si/පුවත්/දසවන-පාර්ලිමේන්තුවේ-මංගල/)  

මෙය ඉතා වැදගත් ප්‍රකාශයකි. කාලීනව වැදගත් එවැනි ප්‍රකාශ අපේ දේශපාලන නායකයින් මීට පෙරාතුවත් කර තිබේ. එහෙත් ඒවා බොහෝ විට හිස් ප්‍රකාශ වන්නේ කාලීන ජනප්‍රියත්වය හා දේශපාලන වාසි වෙනුවෙන් කෙරෙන ප්‍රකාශ වීමෙන්ය. ඒවා වැඩි කල් නොගොසින් අමතක කෙරෙන්නේ, තමන්ද ඒ විනාශ, ඒ අශීලාචාර ගමනෙහි හවුල් කරුවන් වූ බව නොපිළිගැනීමෙන්ය. අතීතයේ “ජාතිවාදී ගැටුම්වලින් ඇති තරම් ලේවලින් මේ මහපොළොව තෙත් වී තිබෙනවා. ගංඟා පිරෙන්න කඳුළු හෙළා තිබෙනවා. එකිනෙකා අතර අවිශ්වාසය, ක්‍රෝධය ඇති තරම් වර්ධනය වී තිබෙනවා.” යැයි කියා, ඒ සියල්ලට “අපද හවුල්කරුවන් වුනා. ඒ ප්‍රමාණයට, ඒ වරද වල වගකීම අපිත් බාර ගන්නවා” යැයි නොකීමෙන් ය.

“ලේ වලින් මේ මහපොළොව තෙමන්නට, ගංගා පිරෙන්න කඳුළු හෙලන්නට, එකිනෙකා අතර අවිශ්වාසය, ක්‍රෝධය ඇති තරම් වර්ධනය කරන්නට” ජ.වි.පෙ දායක වූ අවස්ථා දෙක තුනක් මෙහි සටහන් කරන්නේ, ජනාධිපති අනුර කුමාරගේ ඉතා වැදගත් ප්‍රකාශය අනාගතයට වලංගුව තබා ගැනීමට, අතීත මතක වැදගත් වන හෙයිනි.

01. 1988 – 90 කාලයෙහි ඔවුන්ගේ ත්‍රස්තවාදයෙහි වූ මිනිස් ඝාතන ගැන සඳහන් නොකළත්, 1987 ජුලි 27 වන දින ඉන්දියානු ආණ්ඩුව සමග ජයවර්ධන ආණ්ඩුව අත්සන් කළ “ඉන්දු – ලංකා” ගිවිසුමට එරෙහිව ගෙන ගිය දේශපාලන ප්‍රචාරය ඊළාම් විරෝධයෙන් එහා ගිය “දෙමළ විරෝධී” මතවාදයක් සමාජගත කෙරුවකි. එය පැහැදිලිවම වාර්ගික බෙදීමකට හේතු වූවකි.

02. 2002 වික්‍රමසිංහ ආණ්ඩුව නෝර්වේජියානු සහාය ඇතිව එල්.ටී.ටී.ඊය සමග අත්සන් කළ සටන් විරාම ගිවිසුමට සහ සාම සාකච්ඡා වලට එරෙහිව, ප්‍රථම වරට කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේද අනුග්‍රහය ඇතිව සිංහල-බෞද්ධ කණ්ඩායම් සමග කළ වීදි සටන් මගින් ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගැනීමට තිබූ වාර්ගික ගැටුම, සිංහල-බෞද්ධ ඡන්ද වෙනුවෙන් යොදා ගත්තකි.

03. ඉන්දු-ලංකා ගිවිසුමට අනුව උතුර හා නැගෙනහිර පළාත් තාවකාලිකව ඒකාබද්ධ කරනු ලැබුවේ, නැගෙනහිර පළාතේ ජනමත විචාරණයකින් අවසන් තීන්දුව ගැනීමේ කොන්දේසියට යටත්ව ය. ඒ ජනමත විචාරණය නොඉල්ලා, උතුරු-නැගෙනහිර විසන්ධි කරන මෙන් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ජ.වි.පෙ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළහ. ඒ ඉල්ලීම පිළිගනිමින් අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කළේය. එම තීන්දුව දකුණේ සිංහල-බෞද්ධ ජනතාවගේ ජයග්‍රහණයක් යැයි ජ.වි.පෙ අලුත්කඩේ රතිඤ්ඤාද පත්තු කළේය.

04. 2012 ජුලි මාසයේ සිට බොදු බල සේනාව මුදා හැරි හලාල් විරෝධය සමගවූ මුස්ලිම් පල්ලි, ව්‍යාපාරික ආයතන, ඉලක්ක කළ විරෝධය ප්‍රචණ්ඩ සිංහල-බෞද්ධ අන්තවාදයක් ලෙස සීඝ්‍රයෙන් වර්ධනය වූවත් ඊට එරෙහිව ජ.වි.පෙ කිසි විටෙක ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමෙන් සිංහල-බෞද්ධ අන්තවාදයට නිහඬ සහායක් දුන්නේය.  

ඉතා දැඩිව “ඒකීය රාජ්‍ය” වෙනුවෙන් තවමත් පෙනී සිටින ජ.වි.පෙ, සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම සිංහල-බෞද්ධ රාජ්‍යයක් ලෙස තහවුරු කිරීමට හවුල් වූයේ එළෙසින්ය. ඒ බරපතල වරද නොපිළිගැනීමෙන්, “…. කිසිවෙකුට යළි අප රටේ දේශපාලන බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් ජාතිවාදී, ආගම්වාදී සටන් පාඨ ගොඩනැඟීමට ඉඩ නොදෙන්නට අප සහතික වෙනවා” යැයි කීවාට, එය එසේ නොවනු ඇත.

මේ එයට සාක්ෂි ය.

දකුණේ 88-90 ත්‍රස්තවාදී කැරැල්ලේ මිය ගිය ක්‍රියාකාරීන් වෙනුවෙන් “ඉල්මහ විරු සමරුව” පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති වූවත් 2009 යුද්ධය අවසන් වන විට උතුරු-නැගෙනහිර මිය ගියවුන් වෙනුවෙන් දෙමළ ජනතාව වාර්ෂිකව නොවැම්බර 27 වන දින පවත්වන “මාවීරර් නාල්” සැමරුමට ආරක්ෂක සේවා සහ පොලීසිය ඉඩ නොදෙන බව අපි දනිමු. මෙවරද එය එසේමය.

1. ජනාධිපති අනුර කුමාර ඔවුන්ගේ 35 වන “ඉල්මහ විරු සමරුව” අමතා කතා කෙරුවේ ඉකුත්

නොවැම්බර 14 වන දිනය. ඉන් දින 06 ට පසු සහ ඔහු පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට පෙර දින – නොවැම්බර 20 වන දින – මන්නාරම මුරුන්කන් පොලීසිය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 106 වන වගන්තිය යටතේ “මාවීරර් නාල්” සැමරුම තහනම් කිරීමේ නියෝගයක් ඉල්ලා මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. මහේස්ත්‍රාත් විසින් එය ප්‍රතික්ෂේප කළ මුත්, සැමරුම සංවිධානය කරන වුන් පොලීසියට කැඳවා ඇතැයි තොරතුරු ඇත. (https://www.tamilguardian.com/content/sri-lankan-police-continue-attempt-ban-maaveerar-naal-commemorations)

2. ජනාධිපති අනුර කුමාර ආණ්ඩුවේ ප්‍රතිපත්ති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනට පසු දින, මඩකළපුව වාලච්චෙනෙයි පොලීසිය විසින් එහි “මාවීරර් නාල්” සැමරුම සංවිධායකයින් පොලීසියට ගෙන්වා ඔවුන්ට ශබ්ද විකාශන භාවිතයත් ගී ගැයීමත් කොඩි එසවීමත් මළගියවුන්ට පූජා කෙරෙන සාම්ප්‍රදායික “කාර්තිගල් පුෂ්පය” පිදීමත් තහනම් කර ඇත. (https://www.tamilguardian.com/content/no-flags-no-flowers-sri-lankan-police-summon-volunteers-ahead-maaveerar-naal)

එවැනි තහනම් කිරීම්, කොන්දේසි දැමීම් උතුරු-නැගෙනහිර වෙනත් ප්‍රදේශවලද සිදුව ඇතැයි කියනු ලැබේ. සිංහල දකුණේ මිය ගිය හා ඝාතනය කරනු ලැබූ ත්‍රස්තවාදීන් “ඉල් මහ විරුවන්” ලෙස සැමරීමට ජනාධිපති පක්ෂ කාර්යාලයට යන අතර, උතුරු-නැගෙනහිර ජනතාවට ජනවාර්ගික යුද්ධය හේතුවෙන් මිය ගිය ඔවුන්ගේ ඥාතීන් සාමකාමීව, ආගමානුකූලව සැමරීමට නොහැක.

ජනාධිපති සහ ඔහුගේ ජ.වි.පෙ නායකයින් තේරුම්ගත යුතු වැදගත්ම කාරණාව වන්නේ, පාර්ලිමේන්තුවේදී කෙතරම් සුන්දර බසකින් “ජාතිවාදී, ආගම්වාදී සටන් පාඨ” වලට එරෙහිව තම ප්‍රතිපත්තිය ප්‍රකාශ කළද, දසක ගණනාවක් පුරා තමන්ද හවුල්ව හැදූ “සමාජ මතවාදය” පසුදිනම අතුරුදහන් වන්නේ නැත යන්නය. නායකත්වය එය අත හරින්නට තීන්දු කළද, ප්‍රාදේශීය ක්‍රියාකාරීන් එය එකවර අත හරින්නේද නැත. මතවාද ඉවත් කළ හැක්කේ ඒවාට එරෙහිව කරුණු සහිතව, තාර්කිකව විවෘතව උත්තරව දීමෙනි. එනිසා දැන් සිදුවිය යුත්තේ ගුරු සේවය ඇතුලු රාජ්‍ය ආයතනවල මතවාදය ලෙස පදම්ව ඇති ජාතිවාදය හා ආගම්වාදය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව පරාජය කෙරෙන ප්‍රායෝගික සැළැස්ම ඉදිරිපත් කිරීමය. එතෙක් කෙතරම් කල් බලා සිටින්නට සිදුවිය හැකිද යන්නත් ලොකු ප්‍රශ්නයකි.

කුසල් පෙරේරාප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]

විශේෂාංග

ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

Published

on

By

ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය (International Day of Persons with Disabilities) අද (දෙසැම්බර් 03) දින යෙදී තිබේ.

1992 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රවර්ධනය කරන ලද ජාත්‍යන්තර සැමරීමක් වන මෙම දිනය සැමරීමේ අරමුණ වන්නේ ආබාධිත ගැටළු පිළිබඳ අවබෝධයක් සමස්ත ලෝක වාසීන්ට ලබාදීම සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ අභිමානය, අයිතිවාසිකම් සහ යහපැවැත්ම සඳහා සහයෝගය බලමුලු ගැන්වීමයි.

දේශපාලන, සමාජීය, ආර්ථික සහ සංස්කෘතික යන සෑම අංශයකම, ආබාධ සහිත පුද්ගලයින් ඒකාබද්ධ කිරීමෙන් ලබා ගත හැකි ජයග්‍රහණ පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමට ද මෙම දිනය සැමරීමේ තවත් එක් උත්සාහයකි.

Continue Reading

විශේෂාංග

කවුද මේ අර්චුනා

Published

on

By

10 වැනි පාර්ලමේන්තුවේ ආරම්භක දිනයේදීම පාර්ලිමේන්තු සභාගැබේ විපක්ෂ නායක පුටුවේ බලහත්කාරයෙන් අසුන් ගත්තා කියන වෛද්‍ය අර්චුනා රමනාතන් මේවන විට ජනප්‍රිය චරිතයකි.

ඔහු මන්ත්‍රී භාජනගාරයේ ආහාර ගැනීම සමජමාධ්‍ය හරහා කරපු ප්‍රකාශ ද මේවන විට දැඩි දෝෂාරෝපණයට ලක් වෙනවා. 

මොහු හිටපු LTTE පොලිසියේ ප්‍රධානියෙක් වන රමනාතන් ගේ පුතාය.

ඔහුගේ පියා අවසන් සටනේදී මියගිය/අතුරුදහන් පුද්ගලයෙකි. 

වෛද්‍ය අර්චුනා ඔහුගේ උපාධිය යාපනේ විශ්වාවිද්‍යාලයෙන් ලබාගෙන ඇත්තේ ඒ කාලයේදීමය.

කොහොම හරි ඔහු 2024 ජුනි මාසයේ චාවකච්චේරිය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ලෙස සේවයට ගිහින් දවස් කීපයක් යන කොට ආන්දෝලනාත්මක චරිතයක් වෙන්නේ ඔහු ජනතාව ඉදිරියේ එම රෝහලේ ඇති අඩුපාඩු දුෂණ අක්‍රමික ක්‍රියාවන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමයි. 

ඒ නිසාම ඔහු රැකියාවේත් අර්බුද ඇති කර ගානවා. 

ඒ වගේම ඔහු TNA වැනි සම්ප්‍රදායික දෙමල පක්ෂත් තරහා කරගන්නවා.මේ කරණය නිසා. 

නමුත් ඔහුගේ ඒ එඩිතර ක්‍රියාව නිසා එම ප්‍රදේශයේ ජනතාව ස්වාධීනව තරඟ කරන ඔහුව පාර්ලිමේන්තු යවන්න කටයුතු කරනවා. 

සම්ප්‍රදාය කියමින් නොසිට එම පුහු සම්ප්‍රදායන බිදිමින්, ජනතාව සත්‍ය දැනුවත් කිරම සහ දුෂණ අක්‍රමිකතා ලෝකයාට හෙළි කිරීම ඔහුගේ විශේෂත්වයයි. 

ඔහු ඔහුගේ මෙන්ම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ද හඬ නගන පුද්ගලයෙක්. 

ඔහු නිසා දැන් අපි දන්නවා තාමත් මන්ත්‍රීවරු සඳහා වූ ප්‍රභූ බෝජනා ගාරය අදටත් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මකයි කියලා. 

ඔහු සජිත්ට වඩා විපක්ෂ නායක කමට සුදුසු කියලා ඔහු හිතන නිසා වෙන්න ඇති ඒ පුටුව තොර ගන්න ඇත්තේ.. 

මොකද අපි විපක්ෂ නායක කෙනෙක් ගෙන් බලාපොරොත්තු වන ගුණාංග ඔහු සතුයි.. මොකද ජනතාව ඉල්ලන වෙනස වෙනවද නැද්ද කියලා ඇත්ත අපිට කියන්න පාර්ලිමේන්තුව තුල ඔහු වගේ නිර්භීත විස්ල්බ්ලොවර් කෙනෙක් අවශ්‍යයි. 

මොකද ජනතාවගේ අපේක්ෂාවක් වුණ මාලිමා ආණ්ඩුව තුල ඇති දැඩි විනය නිසා ඒ ආණ්ඩුව යම් වරදක් කලත් ඒ පිළිබද ජනතාව විනය විලංගු කඩා ගෙන් ඒ ක්‍රියාවන් ජනතාව හුමුවේ කට ඇරලා කියන්න තරම් නිර්භිත මන්ත්‍රී වරයෙක් ඒ පක්ෂ තුල දැනට ඉන්න බවක් අපිට පෙන්න නැහැ. 

අනික වෛද්‍ය රමන්තන්ට තියෙන ඒක චෝදනාවක්, ප්‍රභාකරන් ඔහුට දෙවි කෙනෙක් බව ප්‍රකාශ කිරීමයි. 

උතුරේ ජනතාවට එහෙම දැනුන නිසා තමයි ප්‍රභාකරන් වසර 30ක් දකුණත් එක්ක යුද්ධ කරන්නේ. 

ඒ වගේ උතුරට දකුණින් යම් අඩුපාඩුවක් සිදුවුණ නිසා තමයි, ඔහු දමිළ ජනතාගේ විමුක්ති නයකයා වෙන්නේ .. 

පළමු වරට උතුරේ ජනතාව දකුණේ දේශපාලන පක්ෂක් සහ නායකත්වයක් ගැන සෘජුවම අපේක්ෂාවක් තබා තියෙනවා. 

ඉතින් ඒ අපේක්ෂාවේ ජනාධිපතිගේ ලොකුම අභියෝගය ඒ උතුරේ ජනතාවගේ අපේක්ෂාවත් විශ්වාසයක් බවට පත් කර ගැනීමයි.. 

ඒකීය රටක් හැටියට සියල්ලන් ශ්‍රී ලාංකිකයන් ලෙස දැනෙන්න මේ රට පාලනය කලොත් වෛද්‍ය රමනාතන් වුනත් අලුතින් හිතන්න පටන් ගනීවි. 

ඒ අභියෝගය ජනපති අනුරට.

ඕෂල හේරත් මහතාගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනුනකි.

Continue Reading

විශේෂාංග

“ජපුරම්මා සහ කැලණිම්මා දෙකෙන් සෑහෙන පමණ පිරිසක් මේ පාර පාර්ලිමේන්තු ගිහින්”

Published

on

By

ජපුරම්මා සහ කැලණිම්මා දෙකෙන් සෑහෙන පමණ පිරිසක් මේ පාර පාර්ලිමේන්තු ගිහින් තියන හින්ද ඒ ඒ කැම්පස් වල ආදිශිෂ්‍ය පොරවල් එක එක පෝස්ට් දානවා. 

පෝස්ටර් කැම්පේන් කරනවා. ඒක දැකපු සමහරු ඒකට එගේන්ස්ට් එකට වල්ල පොළොවේ ගහගන්නවා.

මම කියන්නේ ඒක එච්චර ගණන්ගන්න දෙයක් නැහැ කියල. ඇත්තටම ගත්තම ඒ දෙකෙන් තමයි සෑහෙන පිරිසක් මේ පාර බිහිවෙලා ඉන්නෙත්.

මම හිතන්නේ පහුගිය දශක හතරක් පහක් ඇතුලේ ජවිපෙ ගොඩක් අය අර කැම්පස් දෙක ආශ්‍රිතව බිහිවෙලා තියනවා. දැන් පාර්ලිමේන්තු ඉන්න ගොඩක් මැති ඇමති මන්ත්‍රී අය ඒ කැම්පස් දෙකේ අය වෙලා තියෙන්නේ ඒ වගේ යම් ඉතිහාසයක් එක්ක.

එහෙම ගත්තම ලංකාවේ පාර්ලිමේන්තු ගිය අය ගොඩක් ලෝයර්ස් ල. හැබැයි නීති විද්‍යාලය එහෙම ගොඩක් දැඟලුවේ නැහැ. ඒක වෙනමයි.

කොහොම උනත් ඉතිං අනික් කැම්පස් වලින් හරි කැම්පස් නොවන තැන් වලින් හරි එහෙම පාර්ලිමේන්තු ගියේ නැති එකට වැළලිලා වැඩක් නැහැ. අනික් ඒවගෙනුත් ජනාධිපති කෙනෙක් බිහිකර ගන්න බලපල්ලා. මේ පාර ඒ ආතල් එක ඒ අයට ගන්න දීපල්ලා.

අනික සාමාන්‍යයෙන් මේ වගේ කැම්පස් අනන්‍යතා පසුබිමක් එක්ක දේශපාලන ආතල් එකක් ගන්න කාලෙකින් අවස්ථාවක් එන්නේ නැහැ. ජනාධිපතිතුමා එක්ක සෙල්ෆි එකක් ගන්න, එයාට කැම්පස් එකට එන්න කියන්න, ‘ආපහු ඉස්කෝලෙට’ වගේ ආපහු කැම්පස් එක ගැන පොඩි කික් එකකින් කතා කරන්න, පොඩි පෙරහැරක් යන්න වගේ දෙයක්වත් නැත්නම් මේ කරපු වැඩේ ඇති ආතල් එක මොකක්ද?

ඒ නිසා දේශපාලන නිරවද්‍ය බව ගැන හිතන්නේ නැතුව මේ වගේ ආතල් දිගටම ගන්න!

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක.
[email protected]

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved