විශේෂාංග
කාර්ය සාධනය ශක්තිමත් නමුත් ආර්ථිකය තවමත් අවදානම් !
Published
5 months agoon
By
editorමේ සතියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කළ යුතුම ප්‍රවෘත්තිය වූයේ විස්තීරණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ තුන්වන වාරිකය අනුමත කිරීමයි.
ඩොලර් මිලියන 336ක තුන්වන වාරික මුදල ලබාදීමත් සමගින් ආර්ථිකය නැවත යථා තත්වයට පත්කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කරමින් මෙරට මූල්‍ය පාලනයක් සහ මුල්‍ය විනයක් ඇති කිරීමේ වැඩ සටහන තව දුරටත් ශක්තිමත් කිරීමට රජයට හැකියාව ලැබෙනවා ඇත. අනුමත කර ඇති මුලු ණය මුදල ඩොලර් බිලියන තුනකි.
ජා.මු.අ. නියෝජ්‍ය පාලන අධ්‍යක්ෂ Kenji Okamara සඳහන් කර ඇත්තේ පසු විපරම් අනුව ශ්‍රී ලංකාව අනුමත කර ඇති ඩොලර් බිලියන 3ක මුදලින් තුන්වන වාරිකය ශ්‍රි ලංකාවට ලබාදෙන බවයි.
ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඵලදායිතාවය ඉහළ අගයක තිබුණත් ආර්ථිකය තවමත් පවතින්නේ චංචල සහ පසුගාමී තත්ත්වයක බවයි.
තිරසාර ණය කළමනාකරණයන් සඳහා යන ගමනේ ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය තවමත් පවතින්නේ පිහිතලයක අග බවයි.
මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන ලද ප්‍රතිසංස්කරණ වහා කළ යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.
IMF වාර්තාවේ පහත සඳහන් සටහන් රජයටත් විපක්ෂයටත් ඉතාමත් වැදගත් වන බවය අපගේ හැගීමයි. නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ
IMF එක පැත්තෙන් කියලා තිබුණේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන්ගෙන ඇති අතර උද්ධමනය අඩු මට්ටමක පවතින බවත්, ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින් තියන බවත්, ශ්‍රී ලංකාව විසින් අදාළ ආධාර වැඩසටහනේ සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කයේ ආන්තික හිඟය හැර සියලු ප්‍රමාණත්මක ඉලක්ක සම්පුර්ණ කරලා තියනවා කියලයි.
ධනාත්මක ආර්ථික වර්ධනයන් නොතකා ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර ණය තිරසාරත්වයට පත්වීම තවමත් ප්‍රමාද වී ඇති බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් අවසන් කිරීම සහ සමාජ හා ප්‍රාග්ධන වියදම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් බවත්, රාජ්‍ය මුල්‍ය කළමනාකරණය දියුණු කිරීම, මුල්‍ය විනය වැඩිදියුණු කිරීම,ණය කලමනාකරණ රාමුව ශක්තිමත් කිරීම, මුදල් ප්‍රතිපත්තිය මිල ස්ථායිතාවයට ප්‍රමුඛත්වය දෙමින් ඉදිරියට යා යුතු අතර මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර තවදුරටත් ගත යුතු බව IMF එක පැත්තෙන් අවධාරණය කරලා තිබුණා.
දළ දේශීය නිෂ්පාදිතය 2023 දෙවන භාගයේදී 3%කින් ප්‍රසාරණය වී ඇති අතර, 2024 මැයි උද්ධමනය 0.9%ක් වූ බවත්, 2024 අප්‍රේල් අවසන් වන විට දළ ජාත්‍යන්තර සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා වැඩි වී ඇති බවත් එහි සඳහන් ය.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා සඳහන් කරන්නේ විධායකය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හදිසියේ ඇති කරගන්නා ලද එකඟතාවයන් ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවයි.
තුන්වන වාරිකය ලැබුණද ඊට පෙර ණය හිමියන් නියෝජනය කරන පැරිස් සමාජය ( Paris Club) ඉන්දියාව සහ චීනය අතර ඇති කරගත යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවය දිනෙන් දින කල් යන බවත්ය.
විදේශීය ස්වෛරී අරමුදල් හිමියන් (Sovereign Bond Holders )අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති අතර ඔවුන් විසින් නව කොන්දේසි පැනවීම සහ ණය කපා හැරීම (Hair cut )7.5% දක්වා අඩු කිරීමට යෝජනා කිරීම නිසා එම සාකච්ඡා ද අතර මග නතර වී ඇත.
2027 දක්වා ණය වාරික ගෙවීම ප්‍රමාද කළ හැකි වුවත් මේ වන විට එනම් 2022 තිබූ රාජ්‍ය ණය ප්‍රමාණය නැවතත් ඉහල ගොස් තියනවා. අලුතින් ගන්නා ලද ණය සහ උපචිත පොලිය සමග පසුගිය සතිය වන විට ශ්‍රී ලංකා රජයේ මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
මෙය අනතුරුදායක තත්ත්වයක්. (Alarming situation)
ශ්‍රි ලංකවේ ගෙවීමට ඇති ණය ඩොලර් බිලියන 100 ඉක්මවයි. !!
සමහර සාර්ව ආර්ථික බැරෝමීටරවල ආන්තික වැඩිදියුණු කිරීම් මධ්‍යයේ සහ සියලුම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුවද
ශ්‍රී ලංකාවේ ණය කන්දරාව ඇමෙරිකානු ඩොලර් බිලියන 100.18 දක්වා ඉහළ ගොස් ඇති අතර තෝරාගත් ණය සඳහා නොගෙවූ මූලික හා පොළිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4 ඉක්මවයි.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නය ඩොලර් බිලියන 12 කට වඩා නොගෙවා ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 500ක ISB ණය මුදලක් මේ මස අගදී ගෙවීමට නියමිත අතර ශ්‍රී ලංකාව දැන් ආසියානු සංවර්ධන බැංකුවට (ඇමරිකානු ඩොලර් බිලියන 6.2ක්) සහ ලෝක බැංකුවට (ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක්) ඇමෙරිකානු ඩොලර් බිලියන 10.5ක් ණය වී ඇත.
මූල්‍ය, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ පළමු කාර්තුවේ රාජ්‍ය ණය දත්ත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා යටතේ නිකුත් කර ඇති අතර, දේශීය ණය දෙසැම්බර් අග වන විට ඇමරිකානු ඩොලර් බිලියන 52.64 සිට ඇමරිකානු ඩොලර් බිලියන 57.28 දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්නුම් කරයි – එය ආසන්න වශයෙන් 9% ක වැඩිවීමකි.
ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් මාසයේදී ද්විපාර්ශ්වික සහ වාණිජ ණය හිමියන්ගේ බාහිර ණය සඳහා සේවා සැපයීම අත්හිටුවීමෙන් පසු, නොගෙවූ ණය සේවාව ඩොලර් බිලියන 4.45 දක්වා ගොඩගැසී ඇති අතර, නොගෙවූ පොලී පසුගිය වසර අවසන් වන විට ඩොලර් බිලියන 2.08 දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වලින් පිලිබිඹු වේ.
2023 දෙසැම්බර් අවසන් කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 96.17 කි. ඒ, මූල්‍ය හා මූල්‍ය නොසැලකිලිමත්කම සහ ප්‍රතිපත්තිමය වැරදි පියවරයන් විසින් තල්ලු කරන ලද පෙර නොවූ විරූ ආර්ථික බිඳවැටීමෙන් වසරකට පසුවය.
ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව නැවත නැවතත් සාර්ව ආර්ථික ප්‍රථමාධාර සපයා ඇති අතර විශේෂයෙන් පසුගිය වසර කිහිපය තුළ විවිධ තීරණාත්මක ව්‍යාපෘති සඳහා මූල්‍යාධාර ලබා දී ඇත. බහුපාර්ශ්වික ණයවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් විසින් දරන බව දත්ත පෙන්වා දෙයි. රට පසුබෑමකට ලක්ව සිටියදී ලිට්‍රෝ ගෑස් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 70 ක ණයක් සමඟ ඉවුම් පිහුම් ගෑස් නැව්ගත කිරීම සඳහා මූල්‍යාධාර ලබා දුන්නේ ලෝක බැංකුවයි, දෙසැම්බර් මාසයේ ‘අස්වැසුම’ මුදල් ආධාරය ඇතුළුව අයවැය ආධාර වශයෙන් ඩොලර් මිලියන 500 ක් ලබා දුන්නේ ය.
ලෝක බැංකුව විසින් පොලී අනුපාත අවදානම් අවම කිරීම සඳහා (ඇ.ඩො. මිලියන 38 ක පමණ අනාගත පොලී ගෙවීම් සඳහා විභව ශුද්ධ වර්තමාන අගය ඉතුරුම්) සහ මූල්‍ය අවදානම් සහ ද්‍රවශීලිතා කළමනාකරණය සඳහා මුදල් අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය පුහුණු කරන ලදී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 672.3ක් වන අතර මේ සතියේ එම ප්‍රමාණය තවත් ඩොලර් මිලියන 331 කින් ඉහල යනු ඇත.
රට ණය වී ඇති ණය කන්දරාව පිළිබද ජනතාව දැනුවත්වීම ඉතා වැදගත්වන අතර මේ සා විශාල ණය කන්ද ගෙවා අවසන් කරන දවසක් පිළිබදව අපට සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.
සතියේ ආර්ථික විමසුම
සේන සූරියප්පෙරුම
විශේෂාංග
මැතිවරණ ප්‍රචාරණයට ඔබේ ‘දුරකතන අංක විකුණා මිලියන ගණන් සල්ලි හොයන දත්ත ජාවාරමක්’
Published
2 days agoon
November 13, 2024By
editor“A දිස්ත්‍රික්කයේ ජනතාවගේ එක ම තේරීම Y…” මේ මාගේ ජංගම දුරකතනය වෙත මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී ලැබුණු කෙටි පණිවිඩයකි.
ඒ, මෙම කාල සීමාව තුළ මා වෙත ලැබුණු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධ කෙටි පණිවිඩ 40කට අධික සංඛ්‍යාවෙන් එකකි.
මැතිවරණ නිහඬ කාල සීමාව ඇරඹී ඇති හෙයින්, අදාළ අපේක්ෂකයන්ගේ තොරතුරු හෙළි නොකරන බව සලකන්න.
නමුත් එවැනි පණිවිඩයක් ලබා ගැනීම සඳහා මා කිසිදු අවස්ථාවක, කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් කර නොමැත. එපමණක් නොව, එය මා පදිංචි දිස්ත්‍රික්කයට වඩා හාත් පසකින් ම වෙනස් දිස්ත්‍රික්කයකි.
කණගාටුවට කරුණ නම්, මහ මැතිවරණ නිහඬ කාල සීමාව ආරම්භ වූ නොවැ. 12 මධ්‍යම රාත්‍රී 12:00න් පසුව ද ඇතැම් අපේක්ෂකයින්ගේ කෙටි පණිවිඩ මා වෙත ලැබීම ය.
ඇතැම් පාර්ශව වෙත මෙම ලිපිය පළ වන මොහොත වන විටත් මෙම පණිවිඩ ලැබී තිබිණි.
මෙවැනි කෙටි පණිවිඩ මීට පෙර ද මෙම මහ මැතිවරණ සමයේ පමණක් නොව ඉකුත් ජනාධිපතිවරණ සමයේ ද අපේක්ෂකයින්ගේ නම්වලින් මා වෙත ලැබුණු හෙයින්, එය මා වෙත පමණක් ලැබෙන්නේ ද යන්න පිළිබඳව මම විමසා බැලීමි.
එහිදී අනාවරණය වූයේ, ඇතැම් පාර්ශ වෙත කෙටි පණිවිඩ පමණක් නොව විටෙක දේශපාලන පක්ෂවල ප්‍රචාරක තොරතුරු ඇතුළත් දුරකතන ඇමතුම් පවා ලැබී ඇති බව ය.
ඒ අනුව, මේ දක්වා වත්මන් පාලක පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයකින් ම මේ දක්වා මා වෙත මාගේ අනුමැතියකින් තොරව කෙටි පණිවිඩ ලැබී තිබේ.
ප්‍රශ්නය මෙයයි. ඉල්ලීමක් නොකර, අපගේ අවසරයකින් ද තොරව එලෙස අප වෙත කෙටි පණිවිඩ හෝ දුරකතන ඇමතුම් ලැබෙන්නේ කෙසේ ද? යන්න ය. ඉන් අපගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් එල්ල නොවන්නේ ද? යන්න ය.
කලක් තිස්සේ සිත තුළ කැකෑරෙමින් තිබුණු මෙම ගැටලුවට පිළිතුරු සෙවීම ඇරඹුණේ එලෙසිනි.
කණගාටුවට කරුණ නම්, මහ මැතිවරණ නිහඬ කාල සීමාව ආරම්භ වූ නොවැ. 12 මධ්‍යම රාත්‍රී 12:00න් පසුව ද ඇතැම් අපේක්ෂකයින්ගේ කෙටි පණිවිඩ මා වෙත ලැබීම ය
පළමු පියවර: දුරකතන සන්නිවේදන සමාගම ඇමතීම
පළමු පියවර ලෙස මම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය සම්බන්ධ කර ගැනීම සඳහා අදාළ දුරකතන සමාගම විසින් සපයනු ලැබ ඇති දුරකතන අංකය ඔස්සේ සාමාන්‍ය පාරිභෝගිකයෙකු ලෙස එහි නියෝජිතයෙකු සම්බන්ධ කර ගැනීමට සමත්වීමි.
ඇය වෙත මාගේ ප්‍රශ්නය යොමු කළේ, මෙම ගැටලුවට පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.
“කොහොම ද මට සබ්ස්ක්‍රයිබ් (subscribe) නොකර ඡන්ද කැම්පේන් කරන අපේක්ෂකයන්ගේ SMS එන්නේ?,” මම විමසීමි.
ඊට ප්‍රතිචාර දක්වමින් ඇය ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
“යම් කිසි ප්‍රදේශයකින්, තෝරාගන්න ඩීටේල්ස්, ඉලෙක්ෂන් යන කට්ටියගේ ඩීටේල්ස් ගද්දි ෆෝන් නම්බර් එකත් ගන්නවා,” ඇය පැවසුවා ය.
“මට පැහැදිලි නැහැ?,” මම පෙරලා ප්‍රශ්න කළෙමි.
“ඡන්දය දාන්න ඩීටේල්ස් ගන්න එනවනේ. එතකොට සර්ගේ නම, NIC නම්බර් එක, දුරකතන අංකය, ගෙදර කී දෙනෙක් ඉන්නවා ද, ඒ ඔක්කොම ගද්දි, එතනින් ඒ ප්‍රදේශයකින් තෝරගෙන, ඒ නම්බර්ස් ටික අරගෙන තමයි සර් සර්ලට ඒ සර්විස් එක ලබා දෙන්නේ,” ඇය තරමක් පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා ය.
නමුත් මා ඇය වෙත පිළිතුරු දෙමින් සඳහන් කළේ, එය සේවාවක් නොවන බව ය.
“ඔයාලගේ පැත්තෙන් [ආයතනය මගින්] එහෙම ගිහිල්ලා නැද්ද? මම නැවතත් ප්‍රශ්න කළෙමි. ඊට පෙරලා පිළිතුරු දෙමින් ඇය අවධාරණය කළේ, තම ආයතනය කිසි විටෙකත් පාරිභෝගිකයින්ගේ පෞද්ගලික තොරතුරු එලෙස තවත් පාර්ශවයක් වෙත නොදෙන බව ය.
එලෙස පණිවිඩ ලැබීම “කරදරයක් නම්” ඒවා ලැබීම නතර කිරීමට අවශ්‍ය උපදෙස් අනතුරුව ඇය මා වෙත ලබා දුන්නා ය.
මීට අදාළ පැමිණිල්ලක් ලඝු කර ගැනීමෙන් අනතුරුව එම දුරකතන සංවාදය අවසන් විය.
“කොහොම ද මට සබ්ස්ක්‍රයිබ් නොකර ඡන්ද කැම්පේන් කරන අපේක්ෂකයන්ගේ SMS එන්නේ?,” මම විමසීමි.
දෙවන පියවර: ‘ඩේටා බ්‍රෝකර්වරයෙකු’ සොයා යාම
‘ඩේටා බ්‍රෝකර්’ යන වචනය ඇතැම් විට ඔබට එතරම් හුරුපුරුදු නැතිවා විය හැකි ය. එය පිළිබඳව මා ද යම් අවබෝධයක් ඇති කර ගත්තේ මෙම ලිපිය සඳහා අවශ්‍ය තොරතුරු ගවේෂණ කටයුත්තේ නියැලෙද්දී ය.
මා අවබෝධ කර ගත් ලෙස ‘ඩේටා බ්‍රෝකර්’ කෙනෙකු යනු, අපගේ දුරකතන අංක ඇතුළත් ‘දත්ත පද්ධතියක්’ ඇති සහ ඒවා යම් මිලකට තවත් පාර්ශවයක් වෙත අලෙවි කරන නියෝජිතයෙකි.
එක් එක් පාර්ශවවල අවශ්‍යතාව අනුව ඔවුන්ට එක් එක් දිස්ත්‍රික්කවලට අදාළ දුරකතන අංක ලබා දීමේ හැකියාව පවතී.
ඒ අනුව, දෙවන පියවර වශයෙන් ‘ඩේටා බ්‍රෝකර්වරයෙකු’ සොයා යාම ඇරඹිණි.
“හෙලෝ… [අදාළ පුද්ගලයාගේ නම]…” මම මෙරට දුරකතන සන්නිවේදන සේවා සපයන සමාගමක පුද්ගලයෙකු ඇමතීමි. ඒ, මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් කර ගැනීමට අවශ්‍ය පුද්ගලයෙකු ලෙසිනි.
“ගුඩ් ආෆ්ටර්නූන්!” ඔහු මට ආචාර කළේ ය.
“ඔයා [ආයතනයේ නම] නේද?, මම [මගේ නම] කියලා කෙනෙක් කතා කරන්නේ.” මම විමසීමි.
ඔහු එය සනාථ කරමින් මා වෙත පිළිතුරු දුන්නේ ය.
අනතුරුව මම ඍජුව ඔහුගෙන් මට අවශ්‍ය වූ කාරණය පිළිබඳව විමසීමි.
“මට දැනගන්න පුළුවන් ද Bulk SMS යවන එක කොහොම ද කෙරෙන්නේ කියලා දැනගන්න?”
ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් මාගෙන් විමසුවේ, මෙය මැතිවරණය සම්බන්ධ කටයුත්තක් බව ද යන්න ය. ඒ සඳහා පිළිතුරු දුන් පසු ඔහු මා සතුව ‘ඩේටා බේස්’ එකක් තිබේදැයි ප්‍රශ්න කළේ ය.
මම ඔහුට පැහැදිලි කළේ, මේ පිළිබඳව එතරම් අවබෝධයක් මා සතුව නොමැති බවත් එය සිදු කරන ආකාරය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරන ලෙසත් ය.
“ඩේටා බේස් එකක් තියෙනවා නම්, ඔයාට ගේට් වේ එකක් [ආයතනයේ නම] ඔයාට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිත් එක්ක ඉන්න පාට්නර් කෙනෙක් එක්ක තමයි කැම්පේන් එක කරන්න වෙන්නේ. [ආයතනයේ නම] එකෙන් ටාගට් කරලා කරන්නේ නැහැ.”
අවශ්‍ය නම් එවැනි නියෝජිතවරයෙකු මා වෙත සම්බන්ධ කර දීමේ හැකියාව ඇති බව ඔහු පැවසීය. අනතුරුව මෙහි කිසියම් නෛතිකමය ගැටලුවක් ඇතිදැයි මම ඔහුගෙන් විමසීමි. ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, “එහෙම ගැටලුවක් නැහැ. මේ ටිකේ යනවනේ ගොඩක් ඒවා.”
ඔහු මා වෙත නියෝජිතවරයකුගේ දුරකතන අංකයක් ලබා දුන් අතර, ඒ වන විටත් අපගේ කණ්ඩායමේ සෙසු මාධ්‍යවේදීන්ගේ ද උත්සහයෙන් මා වෙත තවත් නියෝජිතවරුන් දෙදෙනෙකුගේ දුරකතන අංක ලැබී තිබිණි.
“[ආයතනයේ නම] එකෙන් දුන්නේ කියලා ඔයා කතා කරන්නකෝ, මම නම්බර් එකක් එවන්නම්,” එම සංවාදය එලෙස අවසන් විය.
තෙවන පියවර: ‘අපි ගාව තියෙනවා මිලියන දෙකක් විතර නම්බර්ස්’
මම යළිත් මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් කර ගැනීමට අවශ්‍ය පුද්ගලයෙකු ලෙස ඔවුන් තිදෙනා අතරින් එක් ‘ඩේටා බ්‍රෝකර්’ කෙනෙකු ඇමතීමි.
එහිදී ඔහු මා පිළිබඳව යම් තොරතුරු කිහිපයක් විමසා, මා ප්‍රශ්න කළ පරිදි SMS ප්‍රචාරණ කටයුත්තට අදාළ තොරතුරු පැවසීම ආරම්භ කළේ ය.
“මාස්ක් එකත් එක්ක ද යවන්න ඕනේ?,” ඔහු ප්‍රශ්න කළේ ය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අවබෝධ කර ගැනීම සඳහා මම ඔහුගෙන් “මාස්ක් එකක් කියන්නේ? කවරක් ද යනුවෙන් පෙරලා ප්‍රශ්න කළෙමි.
ඊට පිළිතුරු දෙමින් ඔහු පැහැදිලි කළේ, යම් අයෙකුට යම් නමකින් කෙටි පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම්, ඔහු හෝ ඇය එම පණිවිඩය යැවීමට භාවිත කරන නම “මාස්ක්” එක බව ය.
උදාහරණයක් ලෙස, යම් අයෙකුට X යන නමින් කෙටි පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම්, අදාළ නම, නැතිනම් X යනු ‘මාස්ක්’ එක ලෙස හැඳින්වේ.
ඔහු පෙන්වා දුන්නේ, එය සකස් කර ගැනීම සඳහා රු. 3,000ක පමණ සැකසුම් ගාස්තුවක් අය කෙරෙන බව ත්, ඒ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසරය ලබා ගත යුතු බව ත් ය. එසේ නොමැති නම් ‘ජෙනරල් මාස්ක්’ එකක් යටතේ පණිවිඩය යැවිය හැකි ඔහු පැවසීය.
ඔහු එසේ පැවසුවා ද මා මේ පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් විමසීමක් කළ අතර එහිදී ඔවුන් සඳහන් කළේ, අදාළ ‘මාස්ක්’ එක ලබා ගත යුත්තේ, “ජංගම දුරකතන ක්‍රියාකරුවන්ගෙන්” බව ය.
“මාස්ක් එක ගන්න ඕනේ ඔපරේටර්ගෙන්. විදුලි සංදේශ සේවාවක් සැපයීම සම්බන්ධයෙන් අපි එහෙම ඍජුව සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ. කිසියම් ම වූ විදුලි සංදේශන සේවාවක් අපි ඍජුව සපයන්නේ නැහැ,” මා සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියා අවධාරණයෙන් යුතුව පැවසීය.
උදාහරණයක් ලෙස, යම් අයෙකුට X යන නමින් කෙටි පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම්, අදාළ නම, නැතිනම් X යනු ‘මාස්ක්’ එක ලෙස හැඳින්වේ.
‘ඩේටා බ්‍රෝකර්’ සමග සංවාදය තවදුරටත්…
මා සමග සංවාදයේ නිරතව සිටි ‘ඩේටා බ්‍රෝකර්’ ඔහු සතුව ඇති දුරකතන අංක පිළිබඳව පැහැදිලි කරමින් මෙසේ පැවසීය.
“අපි ගාව දිස්ත්‍රික්ක අනුව ෆිල්ටර් කරපු ලිස්ට් එකක් තියෙනවා. ගාල්ලේ ලක්ෂ 6.5ක වගේ බේස් එකක් ඉන්නවා. මාස්ක් එක වන් ටයිම්. අපිට [රුපියල්] 1.25කට වගේ යවලා දෙන්න පුළුවන් [එක පණිවිඩයක්]. ටැක්ස් හැම දෙයක් එක්ක ම.”
ඔහු පෙන්වා දුන්නේ, දුරකතන අංක මිලියන 2ක් පමණ තිබුණ ද, නිවැරදි ඒවාට පමණක් අදාළ කෙටි පණිවිඩ යවන බව ය.
“අපි ගාව තියෙනවා මිලියන් 2ක් විතර නම්බර්ස්. ඒවා ෆිල්ටර් කරලා, කරලා, ඇකියුරේට් ඒවාට විතරයි අපි යවන්නේ. මිලියන් 2ක් තිබ්බට එක ඔයාලට දෙන්නේ නැහැ. කොළඹ ලක්ෂ 7.40ක් වගේ තමයි තියෙන්නේ. අර රේට් එකට ම තමයි දෙන්නේ,” ඔහු තවදුරටත් පැවසීය.
දිවයිනේ ඕනෑ ම දිස්ත්‍රික්කයකට අදාළ දුරකතන අංක එලෙස තමන් සතුව පවතින බව ඔහු ම හා සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අනුව 2024 තුන්වන කාර්තුව වන විට මෙරට ලියාපදිංචි ජංගම දුරකතන ග්‍රාහකයින් ගණන 27,509,473කි.
සෙලියුලර් දුරකතන Voice Call සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව
(2020 – 2024 III කාර්තුව)
මූලාශ්‍රය: ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව • සටහන: මොබයිල් ඩේටා සඳහා ලියාපදිංචිවීම්වල දත්ත ඇතුළත් කර නැත
අදාළ දුරකතන අංකවල හිමිකරුවන් සිටින ප්‍රදේශය තහවුරු කර ගන්නේ, “ට්‍රාන්ස්පෝට් යූස් කළා ම, සුපර් මාකට් ගිහිල්ලා ඒවාට යූස් කළා ම,” බව අදාළ ‘බ්‍රෝකර්වරයා’ සඳහන් කළේ ය. එමෙන් ම අදාළ තොරතුරු, ජංගම දුරකතන ක්‍රියාකරුවන් ලබා නොදෙන බව ත් එවැනි දත්ත භාවිත කිරීමේ නෛතික ගැටලුවක් නොමැති බව ත් ඔහු පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමන් “සමාගමක්” ලෙස මෙම කටයුතු සිදු කරන බව ය.
මීට පෙර සඳහන් කළ ‘ඩේටා බ්‍රෝකර්වරුන්’ තිදෙනා අතරින් මෙවැනි ම ආකාරයට කෙටි පණිවිඩ හරහා ප්‍රචාරණ කටයුතු කරන තවත් ‘බ්‍රෝකර්වරයෙකු” සම්බන්ධ කර ගැනීමට මට හැකි විය. ඒ තවත් මාධ්‍යවේදියෙකුගේ උපකාරයෙනි.
දුරකතනය ඔස්සේ ඔහු සමග ද කෙටි සංවාදයක නිරත වූ අතර එහිදී අනාවරණය වූයේ ඔහු සතුව කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් දුරකතන අංක මිලියන 2ක් පමණ අඩංගු දත්ත පද්ධතියක් පවතින බව ය. අවශ්‍ය ඕනෑ ම දිස්ත්‍රික්කයක සිටින ජනතාව වෙත ඒ ඔස්සේ අපට අවශ්‍ය පණිවිඩය යැවිය හැකි බව ඔහු පැවසීය.
ඔහු සඳහන් කළේ, එක් කෙටි පණිවිඩයක් සඳහා සත 55ක මුදලකට ප්‍රචාරණ කටයුත්ත සිදු කර දිය හැකි බව ත් ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියනයකට අධික මුදලක් වැය වන බව ත් ය.
කෙසේ වෙතත්, අදාළ අංක ඇතුළත් දත්ත ලැයිස්තුව අප වෙත ලබා නොදෙන බව ත්, කෙටි පණිවිඩ යැවූ පසු ඒ පිළිබඳව වාර්තාවක් ලබා දෙන බව ත් ඔහු සඳහන් කළේ ය.
මෙම ‘බ්‍රෝකර්වරයා’ ද පැවසුවේ, නමක් සඳහන් කර කෙටි පණිවිඩයක් යැවීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසරය ලබා ගත යුතු බව ය.
නමුත් එම ප්‍රකශය ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාම කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කළේ ය.
දුරකතන අංක එළියට යන්නේ කොහොම ද? බරපතළකම මොකක් ද?
මේ දක්වා මෙහි සංවාදයට ලක් වුණු, ‘ඩේටා බ්‍රෝකර්’ යන යෙදුම මා වෙත හඳුන්වා දෙනු ලැබුවේ, සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු මෙන් ම, ඩිජිටල් ආරක්ෂාව පිළිබඳව ද අත්දැකීම් බහුල ආචාර්ය සංජන හත්තොටුව විසිනි.
ඒ, මා ඔහු සමග මෙම ගැටලුව පිළිබඳව සිදු කළ දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ය. ඉකුත් ජනාධිපතිවරණය පැවති සමයේ මා ඔහු සමග සිදුකළ කතාබහකදී ද ඔහු මෙම ගැටලුව පිළිබඳව ප්‍රථම වරට ඉස්මතු කළේ ය.
ආචාර්ය සංජන හත්තොටුව පෙන්වා දුන්නේ, පාරිභෝගිකයින්ගේ අනුමැතියකින් තොරව මුල් වරට කෙටි පණිවිඩයක් ඔවුන් වෙත යවනු ලැබුවේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්, 2010 වසරේ නව වසරේදී බව ය.
යම් පක්ෂයකට අයත් පිරිසකට, අදාළ තොරතුරු අවශ්‍ය බව පැවසූ පිරිසකට, එවැනි පණිවිඩයක් ලබා දීම ගැටලුවක් නොවුණ ද එසේ නොවන, රටේ සියලු පුරවැසියන් වෙත එවැනි පණිවිඩයක් යැවීම ගැටලුවක් බව ඔහු අවධාරණය කළේ ය.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යවන ලද කෙටි පණිවිඩ පදනම් කරගෙන ආචාර්යවරයා මේ බව පැවසීය.
ඒ පිළිබඳව ඔහු විසින් ‘ලින්ක්ඩ්ඉන්හි’ ලිපියක් ද පළ කරනු ලැබ ඇති අතර ඒ ඔස්සේ, “මේක හැමෝට ම යැවුවා ද? එහෙම නම් එක කොහොම ද යැවුවේ?” යන්න ප්‍රශ්න කළ බව ඔහු මා හා පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ මෙය, මේ වන විට පුරුද්දක් බවට පත්ව ඇති බව ය.
මෙය ශ්‍රී ලංකාවේ මේ දක්වා පෞද්ගලිකත්වයට සිදුව ඇති “විශාලතම තර්ජනය” බව ත් ඒ පිළිබඳව දත්ත ආරක්ෂණ අධිකාරියට “හාවක් හූවක් නොමැති” බව ත් ආචාර්යවරයා අවධාරණය කළේ ය.
ගෝලීය වශයෙන් ද මෙය උග්‍ර ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව ත් මේ වන විට ‘ඩේටා බ්‍රෝකර් මාකට්’ නිර්මාණය වී ඇති බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
“ඩේටා බ්‍රෝකර්ස්ලා මේ නම්බර්ස් වගා කරනවා. අපි ඒකට ඉන්ග්ලිෂ්වලින් කියන්නේ ‘හාවස්ට්’ කරනවා කියලා. අපි දෙනවානේ දැන් නම්බර් එක. [ආහාර සහ වෙනත් බඩු බාහිරාදිය ගැනීමට ගිය පසු]. ඒ අයට නීතිමය රාමුවක් නැහැ. ඉතින් අපි දන්නේ නැහැ, කොහෙන් ද මේ නම්බර්ස් ලීක් වෙලා තියෙන්නේ කියලා. [දුරකතන සමගාමක නමක්] කියනවා අපි දීලා නැහැ කියලා. එතකොට මැජික්වලින් නෙමෙයි නේ මේ, ඩේටා බ්‍රෝකර්ස්ලා මේ නම්බර්ස් හොයා ගන්නේ. එතකොට අපිට උපකල්පනය කරන්න පුළුවන් ඔය නම්බර්ස් ටික ගන්නේ අපි දුන්න තැන්වලින් කියලා.”
එලෙස ලබා ගන්නා අපගේ දුරකතන අංක “කවුද? කොහේ ද? තියෙන්නේ කියලා [අපිට] කිසි ම ඉඟියක් නැහැ. මොනවට පාවිච්චි කරනවා ද කියලවත් අපි දන්නේ නැහැ,” ආචාර්ය සංජන හත්තොටුව තවදුරටත් පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, මෙම වසරේ ශ්‍රී ලංකාව තුළ සයිබර් අපරාධ අතිශයින් ඉහළ ගොස් ඇති බව ය. මෙලෙස විවිධ පාර්ශව වෙත අපගේ දුරකතන අංක පත්වීම සයිබර් අපරාධකරුවන්ට අතිශය වැදගත් වන බව ද සඳහන් කළේ ය.
“එතකොට අපේ නම්බර් එක අපේ ඩිජිටල් ජීවිතයට විතරක් නෙවෙයි, අපේ ඇත්ත ජීවිතයටත් බලපාලා තියෙන්නේ. නම්බර් එක ගියා කියන්නේ ඒක සෑහෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ SMS එවන එක ඉඟියක් දෙනවා, ඩේටා බ්‍රෝකර්ස්ලාට කොච්චර බලයක් තියෙනවා ද කියලා,” ඔහු පැවසීය.
මේ සම්බන්ධව මේ වන විට ක්‍රියාත්මක වන නිශ්චිත නීතිමය රාමුවක් නොමැති වීම හේතුවෙන් පාරිභෝගිකයින් “අසරණභාවයට” පත්ව ඇති බව ආචාර්යවරයා අවධාරණය කළේ ය.
මා විසින් ඉල්ලුම් කරනු ලැබ නැති සේවාවක් අක්‍රිය කිරීම සඳහා මා වෙත දුරකතන සමගාම් උපදෙස් ලබා දීම පිළිබඳව මම ඔහුගෙන් විමසීමි.
“අන්තර්ජාතිකව පෞද්ගලිකත්වයේ මූලධර්මයක් තමයි යම් කිසි දෙයක් ඔප්ට් ඉන් (opt in) වෙන්න ඕනේ. ඔප්ට් අවුට් (opt out) නෙවෙයි. ඔප්ට් අවුට් ප්‍රිවසි (opt out privacy) ගොඩක් රටවල් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට ලංකාවේ එන ගොඩක් SMS ඔප්ට් අවුට්. සමහර වෙලාවට ඔප්ට් අවුට් (opt out) එක වැඩ කරන්නෙත් නැහැ. සෙන්ට්‍රල් ඔප්ට් අවුට් (central opt out) එකකුත් නැහැනේ, ” ඔහු පෙන්වා දුන්නේ ය.
‘[පෞද්ගලික දත්ත ආරක්ෂාව පනතේ] කෙටි පණිවිඩ ගැන කියන කොටස තාම බලාත්මක වෙලා නැහැ…’ – දත්ත ආරක්ෂණ අධිකාරිය
ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික දත්තවල ආරක්ෂාව සඳහා අවශ්‍ය නීතිමය බලය ලබා දී ඇත්තේ 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත මගිනි.
නමුත් මේ දක්වා එහි ක්‍රියාත්මක වී ඇත්තේ, කොටස් කිහිපයක් පමණි. එහි IV කොටස හැර සෙසු කොටස් සියල්ල 2025 වසරේදී බලාත්මක වේ.
ඒ, මෙසේ ය.
2023 ජූලි මස 21 වන සිකුරාදා නිකුත් කරන ලද අංක 2341/59 අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව, මෙම පනතේ V වන කොටස 2023 වසරේ ජූලි 17 වන දා සිට ක්‍රියාත්මක වූ අතර එහි VI, VIII, IX සහ X යන කොටස් එම වසරේ ම දෙසැම්බර් 1 වන දා සිට ක්‍රියාත්මක වූයේ, 2024 ජනවාරි මස 8 වන සඳුදා නිකුත් කළ අංක 2366/08 අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ය.
එම අතිවිශේෂ ගැසට් පත්‍රයට ම අනුව, එහි I, II, III සහ VII යන කොටස් 2025 මාර්තු 18 වන දා ක්‍රියාත්මක වීමට නියමිත ය.
නමුත් “ආයාචිත පණිවුඩ පතුරුවා හැරීම සඳහා පෞද්ගලික දත්ත භාවිත කිරීම” පිළිබඳව නීති රෙගුලාසි ඇතුළත් පනතේ IV කොටස ක්‍රියාත්මක වන දිනයක් මෙතෙක් සඳහන් කර නොමැත.
ආචාර්ය සංජන හත්තොටුව සමග සිදු කළ සංවාදයේදී දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත චෝදනා එල්ල වූ බැවින් සහ මෙරට මහ ජනතාවගේ පෞද්ගලික දත්ත ආරක්ෂාව පිළිබඳව ඇති එක ම ආයතනය දත්ත ආරක්ෂණ අධිකාරිය බැවින්, මා ඊළඟ පියවර ලෙස එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වරුණ ශ්‍රී ධනපාල දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේ ය.
එහිදී මා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, කෙටි පණිවිඩ සම්බන්ධයෙන් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ සඳහන් කොටස, එනම්, “ආයාචිත පණිවුඩ පතුරුවා හැරීම සඳහා පෞද්ගලික දත්ත භාවිත කිරීම” යන කොටස මෙතෙක් බලාත්මක කර නොමැති බව ය.
යම් පරිශීලකයෙකුගේ පෞද්ගලික දත්ත හෙළිදරව් වීමක් සිදු වුවහොත්, ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරියේදී පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.
ඒ අනුව, ආචාර්ය සංජන හත්තොටුවගේ ප්‍රකාශය සනාථ කරමින් පැහැදිලි වූයේ, තම දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් යම් පුරවැසියෙකුට පැමිණිලි කිරීමට මේ දක්වා නිශ්චිත නීතිමය රාමුවක් ශ්‍රී ලංකාව තුළ නොමැති බව ය.
කෙසේ වෙතත්, ඊට අදාළ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව දත්ත ආරක්ෂණ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වරුණ ශ්‍රී ධනපාල, මා හා වැඩිදුරටත් පැවසීය.
“ආයාචිත පණිවුඩ පතුරුවා හැරීම සඳහා පෞද්ගලික දත්ත භාවිත කිරීම” පිළිබඳව නීති රෙගුලාසි ඇතුළත් පනතේ IV කොටස ක්‍රියාත්මක වන දිනයක් මෙතෙක් සඳහන් කර නොමැත
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රතිචාරය
පාරිභෝගිකයින්ගේ අනුමැතියකින් තොරව මෙලෙස කෙටි පණිවිඩ හෝ දුරකතන ඇමතුම් ලැබීම වැළැක්වීමට පියවර ගෙන තිබේ ද? නැතහොත පියවර ගන්නේ ද? යන්න සම්බන්ධයෙන්, මේ දක්වා සොයා ගත් තොරතුරු ද ඉදිරිපත් කර මම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් විමසීමක් කළෙමි.
එහිදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ, ක්‍රියාකරු ප්‍රවර්ධන පණිවිඩ සඳහා ක්‍රියාකරු ස්වයං පාලන ප්‍රතිපත්තියක් (Operator Self- Governance Policy for Operator Promotional Messages) මීට වසර 5කට පෙර, එනම් 2018 වසරේදී හඳුන්වා දුන් බව ය.
කෙසේ වෙතත්, මේ වනවිට එහි පවතින අඩුපාඩු හඳුනාගෙන ඇති බව ත් කොමිෂන් සභාව “විදුලි සංදේශන පනතේ අංක 43 වගන්තිය යටතේ එය නීතියක් ලෙසට ගැසට් කිරීමට කටයුතු සිදු කරමින් පවතින බව ත්” අදාළ නිලධාරියා පැවසීය.
ඒ අනුව, මම ‘ක්‍රියාකරු ප්‍රවර්ධන පණිවිඩ සඳහා ක්‍රියාකරු ස්වයං පාලන ප්‍රතිපත්තිය’ පරිශීලනය කර බැලුවෙමි.
බාහිර පාර්ශව විසින් ජනනය කරන ලද ප්‍රවර්ධන පණිවිඩ (Promotional Messages generated by External Parties) යටතේ දෙවන වගන්තියේ ඉංග්‍රීසි බසින් මෙලෙස සඳහන් විය.
“Each such client shall warrant to Operator that all messages transmitted would be with the consent of sub-set of subscribers registered with the said client.”
එහි දළ සිංහල අදහස නම්, ‘තමන් විසින් යවනු ලබන පණිවිඩ තමන් සමග ලියාපදිංචි වී සිටින ග්‍රාහකයින්ගෙන් අදාළ පණිවිඩය ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇති ග්‍රාහකයින් වෙත පමණක් යැවීමට සෑම සේවාදායකයා ම [දුරකතන] ක්‍රියාකරු වෙත සහතික විය යුතු යි’ යන්න ය.
කෙසේ වෙතත්, මේ දක්වා ගත වුණු කාලය තුළ බොහෝ පාර්ශව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් විසින් නිකුත් කරනු ලැබ ඇති ‘ක්‍රියාකරු ස්වයං පාලන ප්‍රතිපත්තිය’ අනුව කටයුතු කරන බවක් නිරීක්ෂණය නොවීම කම්පනයට පත්කරවනසුලු කාරණයකි.
මා සොයා ගත් දෑ පිළිබඳව මෙලෙස ම කෙටි පණිවිඩ සහ දුරකතන පණිවිඩ ලද පාරිභෝගිකයෙකු සමග අදහස් හුවමාරු කර ගත්තේ, මෙහි ඇති බැරෑරුම්කම පිළිබඳව ඇයගේ ද අදහස් දැනගැනීමේ අදහසිනි.
ඊට ප්‍රතිචාර දක්වමින් ඇය පැවසුවේ, “අපේ අංක අපේ අවසරයක් නැතිව අරගෙන, ඒවා විකුණන එක ජාවාරමක් කියලා හිතෙන්නේ. මොකද අපිට මේකෙන් සල්ලි ලැබෙන්නේ නැහැනේ. අනික ඒක අපිට තර්ජනයක්,” යනුවෙනි.
(බීබීසී සිංහල)
විශේෂාංග
මහබැංකුව සුද්ද සිංහලෙන් කියන දේ පවා නොවැටහෙන හෙළයේ යක්කු
Published
1 week agoon
November 5, 2024By
editor“බීරි අලියාට වීණා වාදනය කිරීම වැනි” යැයි කතාවට කියති. මේ උපහැරණ කතාවේ අතීත සන්දර්භයන් මොහොතකට පැත්තකින් තියා, එහි මතුපිට වචනාර්ථයෙන් ගත්තොත්, ඒ කියමන මගින් වගඋත්තරකරු කළ හැක්කේ එක් අයෙකි. එනම්, වීණා වාදකයා ය. මන්ද යත්, බීරි අලියෙකුට ශ්‍රවණාස්වාදයක් සැපයීම සඳහා නිරර්ථක ප්‍රයත්නයක් ගැනීමට තරම් මෝඩයෙකු වීම ගැන ය. එහෙත්, ඔහු වීණාව වයන්නේ අලියා බිහිරි බව නොදැන නම්, ඔහුට සමාවක් තිබේ. කෙසේ වෙතත්, මොන තත්වයක් යටතේවත්, අලියා වගඋත්තරකරුවෙකු කළ නොහේ. මන්ද යත්, උගේ බිහිරිකම පිළිබඳ වගවෙන්නට ඌට නොහැකි බැවිනි. එනම්, මේ උපමාවේ දැක්වෙන දෙන්නාම, කෙනෙක් කායික ආබාදයක් නිසාද, අනෙකා මානසික අනවබෝධයක් නිසාද, අහිංසක විය හැකිය.
එහෙත් මේ මොහොතේ දේශපාලනික ‘අලි’ විශේෂයක් ගම් වැදී සිටිති. ඔවුන්ගේ ලාංඡනය පවා ‘අලියා’ ය. ඒ අලින්ට කන් නෑසීමේ කිසි ආබාදයක් නැත. එහෙත්, නෑසෙන බවක් පිටට අඟවා සිටීමට හරි හපන්නු ය. නොදැනුවත්කමක් හෝ අනවබෝධයක් නිසා නොව, දේශපාලනික කුහකකමක් නිසා ය. මේ දිනවල මුහුණුපොත වැනි තැන්වල මෙවැනි අලි කුලප්පු බොහොමයකි. ඔවුන් කරන්නේ, තමන් තැන්පත් බවක් මතුපිටින් පෙන්නා, අනෙක් හැමෝම කුලප්පු කිරීමට බැලීමයි. ඒ අතින් ගත් විට, කතරගම-බුත්තල මාර්ගයේ මහ දවල්ටත් කරදරකාරී රංචු වශයෙන් ගැවසෙන අලි රංචු මොවුන්ට වඩා අහිංසක යැයි සිතෙයි.
රූපවාහිනී සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල පොල් පෝලිම් දකින්ට තිබේ. පොල් ගෙඩියක් සඳහා පෝලිමක සිටින්ට වීම සැබවින්ම ප්‍රවෘත්තියක් තමයි. ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන සිල්ලර ලුහු ප්‍රවෘත්ති පවා රටට වැදගත් ය. එහෙත්, ඒ සාමාන්‍ය ප්‍රවෘත්තියෙන් පටු දේශපාලනික පාඩමක් ප්‍රක්ෂේපණය කිරීමට තැත් කෙරෙයි නම්, ඒ ගැන කෙනෙකු දෙවරක් සිතා බැලිය යුතුය. ඒ මෙසේ ය: අනුර කුමාර දිසානායක ජනාධිපති පදවියට පත්ව මේ ගතවෙන්නේ පස්වැනි සතියයි. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බැවින්, ව්‍යවස්ථාදායකයක් නැත. කැබිනට් මණ්ඩලය සමන්විත වන්නේ, ජනාධිපතිවරයාද ඇතුළුව, තුන්දෙනෙකුගෙන් පමණි.
ඒ, එක පැත්තකි. එතකොට අනිත් පැත්ත? පොල්වල මිල ඉහළ ගොස් තිබේ. එසේ වන්නේ, එක්කෝ, පොල් අස්වැන්නේ හිඟයක් නිසා විය හැකිය. නැත්නම්, පොල් ප්‍රවාහණයේ සහ බෙදාහැරීමේ ප්‍රශ්නයක් නිසා විය හැකිය. එසේත් නැත්නම්, අතරමැදි ජාවාරම්කාර ස්වභාවයක් නිසා විය හැකිය. හේතුව පළමුවැන්න නම්, ඒ ගැන මේ ආණ්ඩුවට fදාස් කීමෙන් වැඩක් නැත. මන්ද යත්, පොල් වගාව වර්ධනය කිරීම හෝ අඩාළ කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසය ඇතුළත මේ ආණ්ඩුව මගින් ගන්නා ලද කිසි පියවරක් ගැන දැනගැනීමට නැති බැවිනි. දැන් වෙළෙඳපොළට එන්නේ (හෝ නොඑන්නේ), සැප්තැම්බර් 21 වැනිදා වන විට, එනම් පසුගිය ජනාධිපතිවරණයට කලින් දවස්වල පොල්ගස්වල හටගත් පොල්ගෙඩි මිස, ඉන්පසුව ‘මාලිමාව’ විසින් අලුතෙන් ඉන්දවන ලද පොල්පැලවලින් නෙලාගත් අස්වැන්නක් නොවේ.
එහෙත්, මෙසේ පොල් මිල ඉහළ ගොස් ඇත්තේ දෙවැනුව හෝ තෙවැනුව කී කාරණය නිසා නම්, ඒ ගැන මේ ආණ්ඩුවට ඇඟිල්ල දිගු කිරීම අසාධාරණ නැත. එසේම එය වහා විසඳීමද අපහසු නැත. මාසයක කාලයක් වුව ඊට ප්‍රමාණවත් වන බැවිනි. එහෙත්, අද අපට දකින්ට ලැබෙන්නේ, රතුපාට ටයිපටියක් කරේ බැඳගෙන මහපාරක පොල් විකුණන මහත්මයෙකුගේ පින්තූරයක් සහිත උපහාසාත්මක වාර්තාවන් ය. ඒවායින් ඉලිප්පීමට බලන්නේ වර්තමාන ආණ්ඩුවේ අසාර්ථකත්වය, අකාර්යක්ෂමතාව සහ ආධුනික භාවය වැනි කාරණා ය. ඒ කියන හැම අඩුවක්ම, අලුතෙන් බලයට පත් ආණ්ඩු පාර්ශ්වය තුළ තිබීමට බැරිකමක් නැත. එහෙත්, ඒ ගැන තීරණයක් ගැනීමට තරම්, මේ කියන කිසි කාරණයක් කොහෙත්ම ප්‍රමාණවත් නැති බව නම් පැහැදිලියි. ඒ අනුව ගත් විට, එවැනි විවේචන ව්‍යුත්පන්න වන්නේ, හුදෙක් පටු දේශපාලනික අවශ්‍යතා පෙරදැරිව පමණක්ම බව ඉඳුරා කිව හැකිය.
රුපියල් බිලියන 100 ක් අලුතෙන් අච්චු ගහලද?
වීණා වාදනය නෑසෙන සේ සිටින ලොකුම අලියා පෙනෙන්නේ, මේ රජය බලයට පත්වූ දා සිට මහබැංකුව විසින් රුපියල් බිලියන සියයකට අධික මුදලක් අලුතෙන් අච්චුගසා ඇතැයි කියන කතාව සම්බන්ධයෙනි. මේ හාහෝව පටන්ගත් දවසේ සිට එක මහත්මයෙක් සමාජ මාධ්‍ය හරහා පුහුදුන් අපේ දැනගැනීම සඳහා දෛනික වාර්තාවක් ඉදිරිපත් කරමින් අපව යාවත්කාලීන කෙළේය. ඒ, “අද මහබැංකුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය බිලියන මෙච්චරයි!!!” ආදී වශයෙනි. මේ ආන්දෝලනය මේ වන විට මොන තරම් උච්ච ස්ථානකයට නැඟ ඇත්ද යත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු උපදේශක මහත්මයෙක් අද මුහුණුපොතේ සටහනක් තබමින් මෙසේ කියා ඇත:
“ලංකාවේ ඉන්නෙ, ආර්ථික විද්‍යා දැනුම තියා, හරියට වැසිකිළියකට ගිහිල්ලා එන්නවත් දැනුමක් නැති, නූගත් මෝඩ හැත්තක්. එවැනි අමු ගොබ්බ සමාජයකට රටක මුදල් පාලනය කරන හැටි ගැන කියලා දෙන්න බැහැ. ඒවා තේරුම්ගන්න තරම් දියුණු මනසක් උන්ට නැහැ.”
එසේ කියා ඊට පේළි කිහිපයකට පසුව යළිත් ඔහු මෙසේ කියයි:
“මේ රටේ ඉන්නෙ නූගත්, වනචර, අහංකාර, ගොබ්බ හැත්තක්. එවැනි ජනතාවකට කවදාවත් දියුණු වෙන්න බැහැ. ගෝඨාභය ක්‍රියාත්මක කළ දේශීය ආර්ථික යාන්ත්‍රණය විතරයි මේකට විසඳුම වුණේ. නමුත් ඒ අවස්ථාව අනුරලා විසින්ම විනාශ කළා. ඊනියා අරගලය නොකරන්න, ලංකාව අද වේගයෙන් සංවර්ධනය වෙන රටක්… මාලිමාවට කතිරය ගහපු අයට මට කියන්න තියෙන්න, ධර්මය ඔබට මඟ වේවා!”
මෙවැනි ප්‍රකාශ ගැන, පරිච්ඡේද ගණන් පිළිතුරු ලියා පාඨකයන් වෙහෙසට පත්කිරීම අනවශ්‍යයි. එහෙත්, ඔහු මුලින් පවසන සියල්ලත්, ඒවා පවසන ව්‍යාකරණය සහ ශෛලියත් සමග එහි අවසාන සිල් පදය පමණක් අවධාරණය කිරීමට මා කැමතියි. එනම්, අර තරම් අසාර කතාවක් සහ අශෝභන භාෂාවක් වහරණ මහත්මයෙකු, එහි අවසානයේදී “ධර්මය ඔබට මඟ වේවා!” යැයි ප්‍රාර්ථනා කරන්නේ මොන දිවකින්ද යන්නයි.
මේ ආණ්ඩුව ගැන විවේචන නොකළ යුතු අව්‍යක්ත ආකාරයක්ම ඔහු සිය විවේචනය සඳහා යොදාගෙන ඇත්තේ, හේතුවක් ඇතිවයි. එවැනි රළු ව්‍යාකරණයකින් තොරව, ගෝඨාභයගේ වසුරු ඉතිහාසය වැසීම අසීරු බව දන්නා බැවිනි. බළලුන් මලපහ කළ පසු වැලි අහුරකින් එය වසා යනවා ඔබ දැක තිබේද? එයින් ගන්ධස්කාරය නොවැසෙන බව ඌ දන්නවාදැයි අපි නොදනිමු. එහෙත්, එය උගේ සහජ පුරුද්ද බව නම් අපි දනිමු. එය පවා, ගලක පහරපු දාට ඌට කරගැනීමට නොහැකි වෙයි!
ලංකාවේ ජනතාව ආර්ථික විද්‍යා දැනුම අතින් පමණක් නොව, වෙනත් බොහෝ අංශවලින්ද, ප්‍රශස්ත මට්ටමක නැති බව ඇත්ත. මෙපමණ කලක්, ඔහුගේ හිටපු ජනාධිපතිවරයාද ඇතුළු බහුතරයක් නායකයන්ට සහ දේශපාලනඥයන්ට ඉතා පහසුවෙන් ජනතාව රැවැට්ටවීමට හැකි වුණේ එබැවිනි. ඒ ගැන බරපතළ විවාදයක් නැති මුත්, එහි අනිත් පැත්තේ කතාවක්ද ඇති බවත් අමතක නොකළ යුතුය. ගෝඨාභය රාජපක්ෂට බලයට පැමිණීම සඳහා කැලණි ගඟෙන් ප්ලාස්ටික් බෝතලයකින් නාගයෙකු වැඩැම්ම වූ පුද්ගලයාගේ ඇපත් රාජසන්තක කරවීමට ගිය වර ජනාධිපතිවරණයේදී ජනතාව වගබලාගත් බව අපි දනිමු. ඔව්, අපේ ජනතාව පාඩමක් ඉගෙනගන්නේ විශාල වියදමක් දැරීමෙන් පසුව යැයි කෙනෙකු කියන්නේ නම් සහ ඒ පාඩම යළිත් අමතක කිරීමටත් ඒ ජනතාව පෙළඹිය හැකි බවත් කියන්නේ නම්, ඒකත් ඇත්තයි. අර උපදේශකයා මෙසේ ලියන්නේ, ‘මාලිමාව’ අසාර්ථක වෙතොත්, අන්න ඒ ජනතාවගේ දුර්වලතාව (සුදුසුකම!) ස්වකීය ප්‍රයෝජනයට ගැනීමේ අනාගත අපේක්ෂාව නිසාම යැයි මම සැක කරමි.
පාලකයනට ඇන්දවිය නොහැකි වන තරමට අපි දැනුවත් වෙමු
අප කළ යුත්තේ, ජනතාවට බැණවැදීම නොව, ජනතාව හැකිතාක් දැනුවත් කිරීමට නිරතුරුව උත්සාහ කිරීමයි. සල්ලි අච්චු ගැසීම ගැන කතාව අපට එතැනින් පටන්ගත හැකිය. මේ කතාව සමාජගත කෙරුණේ සල්ලි අච්චුගැසීමක් වශයෙනි. “අච්චු ගැසීම” යන යෙදුම ආ සැණින්, පුහුදුන් සිතට එන්නේ, යම් මුද්‍රණ යන්ත්‍රයකින් අලුතෙන් අච්චුගැසෙන නෝට්ටු සහ කාසි තොගයකි. විවේචනය ඉදිරිපත් කළ පිරිසේ අධ්‍යාශය වුණේද, ඒ රසවත් අර්ථයම ජනතා සිත්සතන් තුළ කාවැද්දීමටම තමයි. විජිත හේරත් ඒ පැනයට පිළිතුරක් දුන්නේය. මේ පිළිතුර ඇතැමුන්ගේ විවේචනයට ලක්ව තිබේ. ඔහු කීවේ, වර්තමාන මුදල් ඇමතිවරයාගේ අත්සන සහිත එක මුදල් නෝට්ටුවක් හෝ හැකි නම් ඉදිරිපත් කරන ලෙසයි. ප්‍රශ්නය ඉදිරිපත් කළ චෝදකයාගේ අදිසි අරමුණ ප්‍රකාරව ගත් විට විජිත හේරත්ගේ පිළිතුරත් ඊට සහමුලින්ම ගැළපෙයි. එහෙත්, චෝදනාව සහ පිළිතුර යන දෙකම, මිනිසුන් දැනුවත් කිරීමට වඩා මෝහයේම ගිල්වා තැබීමට තුඩුදෙයි. මේ කාරණය ගැන මහබැංකුව සවිස්තරාත්ම ප්‍රකාශයක් දැනටමත් කර තිබේ. එහෙත් අලියාට ඇසෙන පාටක් නැත.
ඉතා නුදුරේදී (දැන් පවා) කිසි මුදල් නෝට්ටුවක් දෑහින් නොදැක අපේ දින චර්යාව ගතවෙන ආකාරයක් අපට දැනගත හැකි වනු ඇත. එනම්, මූල්‍ය ක්‍රමය තුළ, ස්පර්ශනීය නෝට්ටු හෝ කාසි වශයෙන් නොව, යම් අස්පර්ශනීය අගයන් සමුදායක් වශයෙන් ආර්ථිකයක් තුළ ක්‍රියාත්මක වන බවයි. කෙසේ වෙතත්, ‘මුදල් අච්චුගැසීම’ යන බැවහැර ඥානයෙන් ගැනෙන්නේ, ‘මුදල් මැවීමක්’ නමැති සංකල්පීය මූල්‍ය ක්‍රියාකාරීත්වයකි. එනම්, ආර්ථික ක්‍රියාකාරකම් සඳහා බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන හරහා මුදල් පැටව් ගැස්සවිය හැකි බවයි. එහි ගාමක කේන්ද්‍රය වන්නේ රටක මහබැංකුවයි. උදාහරණයක් වශයෙන්, මහබැංකුව වෙනත් වාණිජ බැංකුවකට සපයන එක රුපියලකින්, මාස 18 ත් 24 ත් අතර කාලයකදී, එකී මුදල රුපියල් 9 ක් දක්වා වැඩි වන අගයක් බවට පරිවර්තනය වන බව, මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන පෙන්වා දෙයි. ‘අච්චු ගැසීම’ යන්නෙන් අදහස් වන්නේ අන්න ඒ කියන ‘මුදල් මැවීමයි.’
මෙය දිනපතා මහබැංකුවක් විසින් කරන කාර්යයකි. මහබැංකුවක් එසේ කරන්නේ ඇයි? යම් නිශ්චිත දිනයක බැංකු පද්ධතියට අවශ්‍ය කරන යම් මුදල් ප්‍රමාණයක් තිබේ. උදාහරණයක් වශයෙන්, එදාට යම් පුද්ගලයෙකුට ඒ බැංකුව විසින් දිය යුතු නිවාස ණයක් හෝ ඒ බැංකුව විසින් ස්ථාවර තැන්පත්කරුවෙකුට ආපසු ගෙවිය යුතු මුදලක් වැනි දෙයක් විය හැකිය. මෙය හඳුන්වන්නේ බැංකුවක ‘ද්‍රවශීලතාව’ වශයෙනි. තනි පුද්ගලයෙකු වශයෙන් ගත්තොත් අද දවසේ වියදම් සඳහා මගේ අතේ ඇති මුදල මගේ ද්‍රවශීලතාවයි. එය, හිඟ එකක් විය හැකිවා සේම, අතිරික්ත එකක්ද විය හැකිය. එනම්, අද දවසේ මට කිරීමට ඇති වියදම රුපියල් දහසක් මුත් මගේ අතේ ඇත්තේ රුපියල් පන්සීයක් පමණක් නම්, එය හිඟ (ඌන) ද්‍රවශීලතාවකි. අද දවසේ මට කිරීමට ඇති වියදම රුපියල් දහසක් මුත් මගේ අතේ දෙදහසක් ඇත්තේ නම් එය අධි-ද්‍රවශීලතාවකි. මුළු රටක සමස්ත බැංකු ක්‍රමය තුළ පවත්නා ද්‍රවශීලතාවත් එසේ ය.
මූල්‍ය ක්ෂේත්‍රය තුළ පවතින ද්‍රවශීලතාව හිඟ වන විටත්, අතිරික්ත වන විටත්, රටේ ආර්ථිකයට හානි පැමිණෙයි. ඒ, උද්ධමනය හෝ අවධමනය මාර්ගයෙනි. උද්ධමනය යනු, භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමේ වේගයයි. අවධමනය යනු, මිළ පහළ යාමේ වේගයයි. මේ දෙකම, එක්තරා මට්ටමකින් පසු, නරකයි. එසේ හෙයින් මහබැංකුවක් දිනපතාම, මුල්‍ය ක්ෂේත්‍රයේ සමතුලිතතාවක් පවත්වාගත යුතුය. ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන පෙන්වා දෙන පරිදි, මේ උද්ධමන වේගය සියයට 2-3 අතර අගයක පවත්වාගැනීම මැනවි. ඒ සඳහා යම් දිනෙක, (එනම් අවධමනය පවතින අවස්ථාවක) සල්ලි අලුතෙන් පොම්ප කිරීමට මහබැංකුවට සිදුවෙයි. තවත් දිනෙක (එනම්, උද්ධමනය පවතින අවස්ථාවක) සල්ලි තමන් වෙතට ඇදගැනීමට මහබැංකුවට සිදුවෙයි.
මහබැංකුවේ ප්‍රධාන කර්තව්‍යයක් වශයෙන්, රටේ උද්ධමනය මේ වසර තුළ සියයට 5 සීමාවේ රඳවාගත යුතු බවට, රනිල් වික්‍රමසිංහගේ හිටපු රජය සහ මහබැංකුව අතර නීතිමය ගිවිසුමක් ඇති කරගෙන තිබේ. එහෙත්, පසුගිය මාසයේ (සැප්තැම්බරයේ) රටේ තිබුණේ උද්ධමනයක් නොව, සෘණ 0.5 ක අවධමනයකි. ඊයේ (30) ප්‍රකාශයට පත්, සංගණන සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ අලුත්ම වාර්තාවට අනුව, මේ මාසයේ තිබී ඇත්තෙත් උද්ධමනයක් නොව, සෘණ 0.8 ක් වන, ඊටත් වැඩි අවධමනයකි. ඒ නිසා අලුතෙන් ආර්ථීක ක්‍රියාවලිය තුළට මුදල් පොම්ප කළ යුතු විය. බිලියන 100 ක් අලුතෙන් ‘මුදල් අච්චුගැසුවා’ යැයි කියන්නේ එකී ‘මුදල් මැවීමටයි.’ මෙය මැවීමක් වන්නේ, මහබැංකුවේ සිට වෙනත් බැංකු වෙත නෝට්ටු වශයෙන් අලුතෙන් අච්චු ගසා අරගෙන ගියේය යන අදහසකින් නොව, ගිණුම් පොත් දෙකේ වාර්තා තුළින් (එනම්, මහබැංකුවේ පොතෙන්) අනිත් බැංකු අංශයේ පොත්වලට ඉලක්කම් ප්‍රවාහණය කිරීමක් සිදු වී ඇති බව ය.
ඇත්ත. ඒ මගින්ද මුදල් සැපයුම වැඩි වන බව ඇත්ත. එනිසා, එය ආර්ථිකයට බලපෑම් ඇති නොකරතියි කිව නොහේ. ඒ කියන අලුතෙන් මැවූ මුදල් ප්‍රමාණය, ආර්ථිකයට ඔරොත්තු නොදෙයි නම්, (එනම්, සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය සමග සමපාත නොවෙයි නම්) එය ආර්ථිකයට විනාශයක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. රාජපක්ෂවරු, දේශපාලනික අවශ්‍යතා සමග ගැටගගැසුණු රජයේ ආර්ථික අවශ්‍යතා සඳහා මහබැංකුව ලවා මුදල් ‘අච්චු ගැසීම’ රටේ ආර්ථීකයට ප්‍රශ්නයක් වුණේ එබැවිනි. (ඔවුන් එය එදා හැඳින්නුවේ, “නූතන මූල්‍ය න්‍යාය” නමිනි.) මේ මොහොතේ මහබැංකුව මුදල් මවා ඇත්තේ, ආණ්ඩුවේ කිසි අවශ්‍යතාවක් සඳහා නොව, රටේ මූල්‍ය ආර්ථිකයේ දෛනික අවශ්‍යතාවක් සඳහා ය. අලුත් ‘මහබැංකු පනත’ අනුව, කොහොමත් ආණ්ඩුවේ අවශ්‍යතා සඳහා මහබැංකුව විසින් මුදල් මැවීම (අච්චු ගැසීම) දැන් නීතියෙන් තහනම් ය.
උද්ධමනයක් සහ අවධමනයක් මහබැංකුවක් විසින් පාලනය කරගත යුත්තේ ඇයිද යන්නත්, අධි-උද්ධමනයකදී නම් මූල්‍ය ක්ෂේත්‍රයේ මුදල් සැපයුම මහබැංකුවක් මැදිහත් වී අඩු කළ යුත්තේ සහ අවධමනයකදී නම් මුදල් සැපයුම ප්‍රසාරණය කළ යුත්තේ ඇයිද යන්නත් පැහැදිලි කිරීමට මෙහිදී අවකාශ නැත. එහෙත්, ඒ කිසිවක් ගැන කතා නොකර, අලුත් ආණ්ඩුව බිලියන සිය ගණනින් මුදල් අච්චුගසා ඇතැයි කියන විට, ජනතා සිත්සතන් තුළට කාවදින්නේ, හිටපු මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්ගේ කෙරුවාවම තමයි කියා ජනතාව අතර වැරදි අදහසක් පැතිරවීමට උත්සාහ දැරීම කනගාටුදායක ය.
කෙසේ වෙතත්, අවසානයේ කිව යුතු දෙයක් තිබේ. මේ කියන ජනප්‍රිය විවේචන ක්‍රමය ඔවුන්ද, එනම් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ‘මාලිමාව’ද ඉතා හුරතලෙන් කාලයක් තිස්සේ සංරක්ෂණය කරගෙන ආ ක්‍රමයකි. ඔවුන් විපක්ෂයේ සිටින විට බොහෝ ප්‍රශ්න දෙස ඔවුන් බැලුවේද මේ ජනප්‍රිය විලාසයෙන්මයි. දැන්, ‘මාලිමා’ ආණ්ඩුවක් යටතේ අලුත් සංස්කෘතියක් බිහි වෙතැයි යන බලාපොරොත්තුවක් ජනතාවට තිබේ. ඒ සංස්කෘතිය තුළට, මේ කියන කාරණයත් පාඨග්‍රන්ථයක් වශයෙන් ඇතුළත් කරගත යුතුව ඇත. එනම්, රටක සංකීර්ණ ප්‍රශ්න, සිල්ලරට උලුප්පා පටු දේශපාලන වාසි ලබාගැනීමේ පුරුද්ද අතහැරදැමීමත්, එකී අලුත් දේශපාලන සංස්කෘතිය තුළට ඇතුළත් කරගත යුතු බවයි.
(ප.ලි. මේ සතියේ එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ඉතා ව්‍යක්ත සහ නිරවුල් ලෙසින් කාංචන විජේසේකර විසින් මේ අවසාන කාරණය පෙන්වා දෙන ලදි. ඔහුගේ දේශපාලනය සහ කඳවුර ගැන මේ ලියුම්කරුට මොන තරම් ප්‍රශ්න ඇතත්, තිත්ත ඇත්තක් වුණත් තර්කානුකූලව පැහැදිලි කරදීමේ දක්ෂතාවෙන් යුත් තරුණ දේශපාලනඥයකු වන නිසා, හැකි නම් ඒ කතාවටත් සවන්දීම වැදගත් යැයි යෝජනා කරමි).
විශේෂාංග
දුරකථන සමාගම්වල පරණ නොම්බර සෙල්ලමින් පාරිභෝගිකයන් අපරාධකරුවන් වීමේ සම්භාවිතාවක්
Published
2 weeks agoon
October 31, 2024By
editor“මුදලාලි වැලි ලෝඩ් එකක් ගන්න පුළුවන් ද? කියුබ් එක කීය ද?” ජංගම දුරකතනය හරහා මෙම ඇමතුම ලැබුණේ, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවෙකුට නොවේ.
එම ඇමතුම ලැබුණේ, ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකුට ය.
ඔහු සේවය කරන ආයතනයේ ම තවත්, මාධ්‍යවේදිනියකට කෙටි පණිවුඩයක් ලැබී තිබිණි.
ඉන් කියවුණේ, මේ වසරේ මෝටර් රථයේ දුම් පරීක්ෂණ සහතිකය අලුත් කර ගන්නා ලෙස සිහි කැඳවීමකි.
ඇය සතුව මෙතෙක් කිසි දිනෙක මෝටර් රථයක් තිබී නැත.
පෞද්ගලික බැංකුවක සේවය කරන තවත් පුද්ගලයෙකුට ලැබුණු ඇමතුමක් හරහා ණය මුදලක් ආපසු දෙන ලෙස දැනුම් දී තිබිණි.
ඔහු කිසිවෙකුගෙන් හෝ කිසිදු මූල්‍ය ආයතනයකින් ණයක් ලබාගෙන නොතිබිණි.
තවත් මෙවැනි සිද්ධි විශාල සංඛ්‍යාවක් පිළිබඳව අපට දැනගන්නට ලැබිණි.
අදාළ සියලු ගැටලුකාරී ඇමතුම් හා පණිවුඩ ලැබී තිබුණේ, අලුතින් මිල දී ගන්නා ලද දුරකතන අංකවලට බව එම සිද්ධි පිළිබඳව සොයා බැලීමේදී පෙනී ගියේ ය.
දුරකතන අංක නැවත නිකුත් කිරීම
ගැටලුකාරී දුරකතන අංක සහ කෙටි පණිවුඩ ලැබී තිබුණු දුරකතන අංක පිළිබඳව තවදුරටත් කළ සොයා බැලීම්වලදී පෙනී ගියේ, එම අංක මීට පෙර භාවිත කරන ලද ඒවා බව ය.
මීට පෙර භාවිත කරන ලද දුරකතන අංකවලට දුරකතන ඇමතුම් සහ විවිධ කෙටි පණිවුඩ හේතුවෙන් එම අංක භාවිත කරන්නන් අපහසුතාවට පත්වන බවට මැසිවිලි නැගේ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, යම් දුරකතන අංකයක් ස්ථිර වශයෙන් භාවිතය නතර කර මාස 6ක් ගතවූ පසු නැවත භාවිතයට ගැනීමට අවසර දී ඇති බව ය.
“අපි දුරකතන සමාගම්වලට ඉඩ දීලා තියෙනවා, දුරකතන අංක ස්ථිරව විසන්ධි කරලා මාස 6ක් ගත වුණාට පස්සේ ඒවා නැවත පාරිභෝගිකයින්ට නිකුත් කරන්න. එහෙම කරන්න හේතුව, නම්බර්ස්වල තියෙන හිඟකම.”
අංකවල හිඟයක්
නව අංක නිකුත් කිරීමේදී දුරකතන සමාගම් අංක හිඟයකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
“දුරකතන සමාගම්වලින් අලුත් සම්බන්ධතා ගන්නවා විශාල පිරිසක්. ඉතින් අලුත් අංක දෙන එක ලොකු අභියෝගයක්. මොක ද, දුරකතන අංකවල හිඟයක් තියෙනවා,” බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ නිලධාරියා ප්‍රකාශ කළේ ය.
විවිධ අංක නිකුත් කිරීමේදී අංක හිඟයකට මුහුණ පා සිටින්නේ, ශ්‍රී ලංකාව පමණක් නොවේ.
අංකවල හිඟය සම්බන්ධයෙන් ලෝකයේ විවිධ පර්යේෂකයින් අධ්‍යයනයන් සිදු කර තිබේ.
ඒ අනුව, හඳුනාගෙන ඇත්තේ, පරිගණකවල IP address සැකසීමේදී ද අංක හිඟය බලපා ඇති බව ය.
ඒ අනුව, IP address නිර්මාණය කිරීමේදී මෙතෙක් භාවිත කළ IPv4 ක්‍රමවේදය වෙනුවට IPv6 ක්‍රමවේදය අනුගමනය කිරීමට යෝජනා වී තිබේ.
ඒ අනුව, ඉදිරියේදී දුරකතන අංක සඳහා ද නව අංකන ක්‍රමයක් හඳුන්වා දීමට සිදුවනු ඇත.
‘වෙන කරන්න දෙයක් නෑ’
ශ්‍රී ලංකාවේ දුරකතන අංකන ක්‍රමය අනුව අංක හිඟයට පිළියමක් ලෙස දැනට දිය හැකි එක ම විසඳුම ඉවත් කරන දුරකතන අංක යළි භාවිත කිරීම බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
“දැනට වෙන කරන්න දෙයක් නෑ. මේකෙන් ඇතැමුන්ට ගැටලු මතු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක තමන් අලුතින් අංකයක් ගත්ත බවත්, කලින් අංකයේ හිමිකරු තමන් නොවන බවත් පැහැදිලි කිරීම තමයි කරන්න වෙන්නේ.”
‘පැමිණිලි කළ හැකි යි’
යම් පාරිභෝගිකයෙකුට අපරාධකරුවෙකුගේ හෝ වෙනත් ප්‍රශ්නසහගත පුද්ගලයෙකුගේ දුරකතන අංකයක් ලැබුණහොත් කුමක් කළ යුතු ද? යන්න අපි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් විමසුවෙමු.
එහිදී, එම කොමිෂන් සභාව දුන් උපදේශය වූයේ, බරපතළ ගැටලුකාරී තත්ත්වයක් නම් පොලිසියට පැමිණිලි කළ හැකි බව ය.
මෙහි තවත් පැත්තක් තිබේ. එනම්, යමෙකු භාවිත කර විසන්ධි කළ අංකයක් අපරාධකරුවෙකුට ලැබුණහොත් හෝ යමෙකු විසින් අපරාධයක් කිරීම සඳහා අදාළ දුරකතන අංකය භාවිත කළහොත් ඇති වන තත්ත්වය යි.
එවැනි අවස්ථාවක දුරකතන අංකයේ පළමු හිමිකරු දැඩි ලෙස අපහසුතාවට පත් වනු ඇත.
කෙසේ වෙතත්, අංකවල පවතින හිඟකම නිසා දුරකතන අංක නැවත නිකුත් කිරීමට අවසර දීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
(බීබීසී සිංහල)
ත්රිකුණාමලෙනුත් මාලිමා මන්ත්‍රීලා 2ක්
බදුල්ලෙනුත් NPP එකට මන්ත්‍රී ධූර 6ක්
මාතරින් මාලිමාවෙන් 6ක් මැති සබයට
Trending
-
විදෙස්5 days ago
ට්‍රම්ප්ගේ ජයයෙන් පසු ඩොලරය නගියි
-
පුවත්5 days ago
හදිසියේ කෝටිපතියන් වූ සංගීත කණ්ඩායමක3ක් අත්අඩංගුවට
-
පුවත්1 week ago
එල්.බී. ෆයිනෑන්ස් ලොක්කෝ අඹු සැමි යුවලක් සිරකරගෙන; අධිකරණය පොලිසියෙන් තොරතුරු ඉල්ලයි
-
පුවත්4 days ago
රන්ජන්ගේ හා සුභාෂ්කරන්ගේ බඩු මාට්ටු වෙයි
-
පුවත්5 days ago
බන්ධනාගිරයේදී ලොහාන් දනගස්සලා, ඇලෝසියස් වඩු පාටියේ, ජොනීටත් අකරතැබ්බයක්