Connect with us

විශේෂාංග

ඡන්දදායකයින් “සුපිරි” නම්, අපේක්ෂකයින් “ඩප්පි” විය නොහැක!

Published

on

අපේ මැතිවරණ සංස්කෘතියෙහි දේශපාලන පක්ෂ වලට සහ අපේක්ෂකයින්ට දොස් නගන්නේ ඡන්දදායකයින්ගේ දෝස ගැන කතා නැතිව ය. ඡන්දදායකයින් “සුපිරි” නම්, අපේක්ෂකයින් “ඩප්පි” විය නොහැක. අපේක්ෂකයින් ඉදිරිපත් වන්නේද ඡන්දදායකයින්ගේ සමාජයෙන්ම වන හෙයිනි. එනිසා ඡන්දදායකයින් ඔවුන්ගේ ඡන්ද අපේක්ෂකයින්ට ලබා දෙන්නේ කුමන හේතුවකටදැයි ඡන්දදායකයින්ගෙන්ම ඇසිය යුතු ය. මේ ඒ සඳහා වන ප්‍රශ්න කිහිපයකි.

01. ඡන්දය දෙන්නේ ඇයි? නැතිනම්, ඡන්දය දිය යුත්තේ ඇයි?

ඡන්දය සතුව ඇත්තේ පුරවැසියෙකු, වඩාත් පැහැදිලිව කියන්නේ නම්, මේ සමාජයේ සාමාජිකයෙකු ලෙස පුද්ගලයෙකු සතු අත් හළ නොහැකි සමාජ වගකීමකි. එහි වෙනත් පෞද්ගලික කිසිවක් නැත. ඒ සමාජ වගකීම වන්නේ, මේ රටේ සමස්ථ ජනතාවගේම අනාගත අභිවෘද්ධිය, දියුණුව, දිවි පැවැත්මේ ගුණාත්මක තත්ත්වය, නිදහස් හා සාමකාමී, ස්ථාවර සමාජයක වර්ධනය කර ගැනීම වෙනුවෙන් පිළිගත හැකි වැඩ සැළැස්මක් ඉදිරිපත් කරන්නාවූ දේශපාලන පක්ෂයක්/කණ්ඩායමක් ආණ්ඩු පාලනයට පත්කර ගැනීමේ වගකීම ය. එනිසා ඡන්දය දිය යුත්තේ ඒ වෙනුවෙන් පමණි.

02. ඒ වගකීම ඉටු කිරීමට නම් පක්ෂ හෝ අපේක්ෂකයින් රටට ඉදිරිපත් කරන ඔවුන්ගේ ජාතික සංවර්ධන වැඩපිළිවෙලක් තිබිය යුතුය. සංවර්ධන වැඩපිළිවෙල යනු සාම්ප්‍රදායික මැතිවරණ පොරොන්දු ප්‍රකාශ නොවේ. රටේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුවක් ලෙස ඔවුන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පියවරෙන් පියවර පැහැදිලි කෙරෙන සැළසුමකි. ඔබ අතට එය පත් විය යුතුය. එය ඔබ කියවා තිබිය යුතුය. ප්‍රශ්නය, මෙතෙක් කිසිදු මැතිවරණයකදී ඔබගේ ප්‍රදේශයේ පක්ෂ නියෝජිතයෙකුගෙන් එවැනි සංවර්ධන සැළසුමක් ඔබ ඉල්ලා තිබේද? පක්ෂ නියෝජිතයෙකු එවැන්නක් ඔබට ලබා දී තිබේද?

වෙළඳ සන්නාහ නාම වැනි නම් යෙදූ මැතිවරණ පොරොන්දු ප්‍රකාශන නොවන සැබෑ “සංවර්ධන” සැළසුම් සැළකූ විට, ඒ ප්‍රශ්න දෙකටම, නිසැකයෙන්ම දිය හැකි පිළිතුර නම්, “නැත” යන්න ය. මේ සමාජයේ තවමත් පක්ෂ වෙතින් හෝ අපේක්ෂකයින්ගෙන් එවැනි ජාතික සංවර්ධන සැළසුම් කිසිවකුට ලැබී නැත. ඡන්දදායකයින් ඉල්ලා ඇත්තේද නැත. එනිසා එවැනි දේශපාලන සංස්කෘතියක් මේ සමාජයේ ගොඩ නැගී ඇත්තේද නැත.  

03. දැනට ප්‍රධාන වශයෙන් කතා වන්නේ ආර්ථික බංකොලොත් බවෙන් රට ගොඩ දැමීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් කොන්දේසි සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමය. ඒ සම්බන්ධ ඔබට ගැටළු තිබේද? ඔබේ ඒ ගැටළු ඔබ අපේක්ෂකයින් වෙත යොමු කර තිබේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සියල්ල සහ ආණ්ඩුව විසින් අත්සන් කළ සම්පූර්ණ ගිවිසුම පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කර නැතැයි කියවුනත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හෝ ලොකු ඉල්ලීමක් නැත. පාර්ශව කිහිපයක් සමග ආණ්ඩුව එකඟ වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි ගැන ඇසීමක්ද නැත.  ඒ සියල්ල සිංහල සහ දෙමළ භාෂා වලින් ප්‍රසිද්ධ කරන මෙන් පළමුව ඉල්ලා සිටිය යුතු වූවත් මේ සමාජයේ ඡන්දදායකයින් කිසිවකු එවැනි වගකීම් ගැන නොසිතන හෙයින් මේ රටේ ඡන්දදායකයින්ට ඒ කිසිත් ප්‍රශ්න නොවන්නේ යැයි පක්ෂ නායකයින් තීන්දු කිරීමේ වරදක් ඇත්තේද නැත.

04. අවුරුදු දෙකක පමණ කාලයක් ප්‍රධාන මාතෘකාව කරගෙන ඇති ආර්ථික අර්බුදය හැරුණු විට, මේ සමාජයේ ජීවත් වන්නකු ලෙස ඔබට වහා විසඳුම් ලැබිය යුතු වෙනත් බරපතල ප්‍රශ්න මේ සමාජයේ නොමැතිද?

කිසිදු මැතිවරණ වේදිකාවක, සමාජ ව්‍යසන හා සමාජීය විනය පිරිහීම ගැන වගකීමක් ඇතිව කෙරෙන කතා ඇසෙන්නේ නැත. සීඝ්‍රයෙන් වැඩිවන ස්ත්‍රී දූෂණ, බාලවයස්කාර දැරිවියන් දූෂණය කිරීම, ළමා අපචාර හා ලිංගික හිංසන, ලමුන්ට කුරිරු ලෙස සැළකීම හා ශාරීරිකව පහරදීම, කප්පම් ගැනීම, කොන්ත්‍රාත් මිනී මැරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි කිසිවක් පාලනය කරන්නේ හා වළකා ගන්නේ කෙසේදැයි කතා කරනු අසන්නට නැත. පාසල් හා උසස් අධ්‍යාපනයේ වාව ගත නොහැකි පිරිහීම, සෞඛ්‍ය සේවාවේ හැම අංශයක්ම අඩාලවීම, පොදු මගී සේවා ගැන කිසිදු අවධානයක් ඡන්ද ව්‍යාපාරයෙහි නොමැත. එවැනි කිසිවක් වෙත දේශපාලන පක්ෂවල හා අපේක්ෂකයින්ගේ අවධානයක් නොමැති වීමට ප්‍රධානම හේතුව නම්, ඒ කිසිවක් ගැන ඡන්දදායකයාගේ උනන්දුවක් නොමැතිවීමය. ඡන්දය දෙන්නේ ඒ කිසිවක් විසඳා ගැනීමට නොවන බව එබැවින් පැහැදිලි ය.

05. එවැනි කිසිවක් ගැන උනන්දුවක් ඔබට නොමැති නම්, එවැනි සමාජීය අර්බුද විසඳ ගැනීමට පිළිගත හැකි සාර්ථක වැඩපිළිවෙලක් ඉල්ලා සිටින්නට තරම් වුවමනාවක් ඔබට නොමැති නම්, ඔබ ඡන්දය දෙන්නේ කුමක් සඳහාද?

එයට කිසිදු ඡන්දදායකයෙකු ප්‍රසිද්ධියේ පිළිතුරු නොදෙනු ඇත. එයටද හේතු ඇත. මෙතෙක් ඉතිහාසයේ ඡන්දයක ඇති සමාජ වගකීම ගැන මේ සමාජයේ කතා කර නැති හෙයින් සමාජ වගකීමක් ගැන නොදන්නා ඡන්දදායකයා තම පෞද්ගලික කාරණා විසඳා ගැනීමට ඡන්දය හිලව් කිරීමට පෙළඹී ඇත. එය ප්‍රසිද්ධියේ කතා කළ යුතු කාරණාවක් නොවන්නේ යැයි ඒ ගැන කිසිවකු කතා නොකළත් එය ප්‍රසිද්ධ කතාවකි. 

මේ රටේ බරපතලම අර්බදුය ඇත්තේ එතැනය. කිසිදු ඡන්දදායකයෙකු තමන්ගේ ඒ සමාජ වගකීම ඉටු කිරීම වෙනුවෙන්, සර්වජන ඡන්දය පළමු වරට භාවිත කිරීමේ අයිතිය ලැබුණු 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ සිට මෙතෙක් අවුරුදු 93 ක් කිසිදු මැතිවරණයක භාවිත කර නැත. මෙවර භාවිත වන්නේද ඒ වෙනුවෙන් නොවේ.

කුසල් පෙරේරා

2024 අගෝස්තු 26

පුවත්

අනුරගේ ආණ්ඩුවෙත් තනතුරු නොගන්න තීන්දු කළ ටිල්වින් සහෝදරයා මොකද කරන්න යන්නේ

Published

on

By

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පරිවාස ආණ්ඩුවේ මෙන්ම, අනුර කුමාර දිසානායකගේ වත්මන් ආණ්ඩුවේ ද කිසිඳු තනතුරක් භාර නොගැනීමට තීරණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින ටිල්වින් සිල්වා මහතා කියයි.

BBC සිංහල සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේබව සඳහන් කර ඇත.

ආණ්ඩුවයි පක්ෂයයි දෙකක් බද පවසන ටිල්වින් මහතා, ඒ දෙක එකක් කර ගැනීමට නොයන බවද ඔහු කියා සිටී.

”මට කියලා ගෙයක්, ඉඩමක් නෑ. පුද්ගලිකව උපායා ගත්ත ලොකුම දේ ආදරය. මම හිතනවා ගොඩක් අය මට ආදරෙයි කියලා.” යනුවෙන් ද ඔහු කියා සිටී.

වසර 46ක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින ටිල්වින් සිල්වා ඉන් වසර 29ක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන්නේය.

”83 පක්ෂය තහනම් කරන අවස්ථාවේ මම කළුතර දිස්ත්‍රික්කයේ තරුණ සංගමයේ ලේකම්වරයා. නමුත් මම ඒ කාලේ ප්‍රසිද්ධ දේශපාලනය නොකරපු නිසා මම පක්ෂයේ මොනවද කරන්නේ කියලා බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නෑ. අවුරුදු හතක් හිරේ ඉඳලා ඇවිත් 1995 පක්ෂ ලේකම් ධූරය භාර ගත්තට පස්සේ තමයි බන්ධනාගාර නිලධාරී දැන ගත්තේ මම කවුද කියලා. මගේ ඒ හැසිරීම පක්ෂයේ බොහෝ දෙනෙකුගේ ජීවිත ආරක්ෂා කර ගන්න පුළුවන් වුණා. පොලීසිය හිතුවේ මම පක්ෂයට උදව් කරපු සාමාන්‍ය කෙනෙක් කියලා.” යනුවෙන් ඔහු පැවසුවේය.

පාසල් කාලය, ආර්ථික අභියෝග හා අභියෝග හමුවේ පාසල් ගමන අඩාල වීම, රෝහණ විජේවීර හමුවීම, පක්ෂය තුළ කළ රහසිගත දේශපාලනය, බන්ධනාගාරයේ ජීවිතය හා බැඳුනු ‘අප්‍රකට’ කතා මෙන්ම අනුර දිසානායක ජනාධිපතිවරයා යටතේ තනතුරු භාර නොගැනීමට හේතුව ටිල්වින් සිල්වා BBC සිංහල සමග පැවති සාකච්ඡාවේ දී විස්තර මෙසේ විස්තර කර තිබේ.

Continue Reading

විශේෂාංග

පාර්ලිමේන්තුව විසිරුවන්ට තව පැය කිහිපයකි

Published

on

By

ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ගේ නම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.  දැන්, ඔහුට කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දීමට දැන් අවස්ථාව ඇත.  (පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට අවශ්‍යතාවයක් නැත. මෙයට පෙර බැසිල් රාජපක්ෂ ද, මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට පෙර, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී ඇත)

එබැවින් අද දිනයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් වහාම, පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකිය.

අතිගරු ජනාධිපතිතුමා විසින් 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව තව පැය කිහිපයකින් සිදු කරන ප්‍රකාශය මගින්,  

1. අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය  

2. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය

3. නාම යෝජනා කාල සීමාව  

4. එක් එක් දිස්ත්‍රික්කය සඳහා තෝරා පත් කර ගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව  ප්‍රකාශනය කරනු ඇත.

මහා මැතිවරණයක ආසන්න (අනුමාන!) දින වකවානුව පහත දැක්වේ.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීම/ මැතිවරණ නිවේදනය (සැප්. 25 යැයි සිතමු)
නාම යෝජනා බාර ගැනීම (දින 10 කින් පසුව) 2024 ඔක්තෝබර් 4 සිට ඉදිරියට දින 7 ක්  (නිවාඩු දින ද සහිතව)

මැතිවරණ දිනය – 2024 නොවැම්බර් 22ට ආසන්න දිනක සිට නොවැම්බර් 30 දක්වා ආසන්න දිනක

2024 සැප්. 25 (හෙට) සිට දින 52 සිට 66 දක්වා ඕනෑම දිනක මහා මැතිවරණය පැවැත්වෙනු ඇත.

කීර්ති තෙන්නකෝන්

Continue Reading

විශේෂාංග

රටේ මහ පුටුවට ගිය සරසවියේ අරවින්ද?

Published

on

By

මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්ව දිවුරුම් දී වැඩකටයුතු ආරම්භ කිරීම අද (23) පෙරවරුවේ සිදු කෙරුණි.

මේ ඔහු ගැන කරුණු බිඳකි.

අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් මස 24 වැනිදා උපත ලබන්නේ, මාතලේ දේවහූව ග්‍රාමයේදීය. 

ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාවය.

දිසානායක පවුලේ දෙවැනියා වූ අනුර මූලික අධ්‍යාපනය සඳහා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් වෙයි. 

සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වන මෙම සිසුවා උසස් පෙළ හැදැරීම සඳහා ඇතුළත්වන්නේ, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයටය.

එහිදී විද්‍යා – ගණිත අංශයෙන් උසස් පෙළ සමත්වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වන්නේ, 1992 දීය. 

1987දී පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වූ අනුර සරසවි භූමිය තුළ ද කැපීපෙනෙන දේශපාලන චරිතයක් බවට පත්වෙයි. 

එහිදී ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජවාදී ශිෂ්‍ය සංගමය නැවත ගොඩනගන අනුර සරසවි සිසුන් අතර ආකර්ෂණය දිනාගත්තේ ”අරවින්ද” යන නාමයෙනි.

එපමණක් නොව ඔහු කැලණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ සභාපති ධුරය ද හොබවනු ලබයි. 

අනුර කුමාර දිසානායක සිය උසස් අධ්‍යාපනය නිමකරමින් 1995 දී විශ්වවිද්‍යාලයෙන් පිටවන්නේ, විද්‍යාවේදී උපාධිධාරියෙකු වශයෙනි. 

අනුරගේ දේශපාලන ගමන් මඟ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින් 1997 දී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වෙයි. 

ඉන් වසරකට පසු එනම් 1998 දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුලත් වීමට අනුර කුමාරට වරම් හිමිවෙයි. 

ඔහු පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2000 වසරේදීය. 

ඒ එම වසරේ පැවැති මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙනි. 

ඔහු යළි 2004 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ද ලබා ගනිමින්.

2004 වසරේදී පිහිටුවන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය ධුරයේ කටයුතු කළ අනුර කුමාර දිසානායක එදා මෙදා තුර ලාංකේය දේශපාලන ඉතිහාසයේ අත්නොවිඳි විසල් ආදර්ශයක් රටට ලබාදීමට කටයුතු කළේය. 

අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ගමන් මගේ ඉතා තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස 2වනදා පවත්වන ලද ජනතා විමුක්ති පෙරමුණේ 7වන ජාතික සම්මේලනයේදීය.

එදින ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සෝමවංශ අමරසිංහගෙන්, අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරුණි. 

දැන් අපි පුනරුදයට පෙළ ගැසෙමු…

ගී තනු හා සංගීතය – අජන්ත රාජකරුණා

ගායනය –  සුසන්ත එදිරිසිංහ

ශ්‍යාමා ගුණරත්න

ඩේමියන් ඩයස් 

හංසි කන්දෙගෙදර

මල්රාජ් මහානාම

පටිගත කිරීම – කැලුම් වැලිගම

දෘශ්‍ය රූප – චතුරංග අබේසිංහ

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved