Connect with us

විශේෂාංග

පොඩි අතුල, රාවය සහ අයිවන්; දේශපාලන සන්නිවේදන ඇසකින් බැලූ විට..

Published

on

එකල අපගේ වීරයා වූයේ වික්ටර් අයිවන් නොව සුනිල් මාධව ප්‍රේමතිලක ය. ඒ දෙදෙනා ම විකල්ප පත්තර සංස්කාරකවරුන් වුවද වැඩ කළේ දේශපාලන චලනයන් දෙකක ය. මේ කියන්නේ, විකල්ප පත්තරවල ස්වර්ණමය යුගය ගැන ය. (දේශපාලන කාටූන් ශිල්පියාගේ හොඳම කාලය රටේ නරකම කාලය කියා කියමනක් ඇත. ඒ ලෙසින්ම, විකල්ප පත්තරවල ස්වර්ණමය යුගය, ලංකාවේ දේශපාලනයේ ලෝකඩමය යුගයක් විය) ඉතින්; විප්ලවය, ආදරය හා මනුෂ්‍යත්වය පිළිබඳ සංකේතය ‘සුනිල් අයියා’ මිසක වික්ටර් අයිවන් නොවීය.

කෙසේ වෙතත්, වික්ටර් අයිවන් යනු 71 පොඩි අතුල ය යන තොරතුර, අප ගැටවර මනසට එකල කුතූහලය දනවන්නක් වූයේය. “මිනිහා ඒ කාලෙ පක්ෂෙ නායකයෙක් ලු. බෝම්බ හදන්න ගිහින්ලු අත ආබාධිත වුණේ. සටනට බාධාවක් නම් තමා මරා දමන ලෙසත් ඔහු කීවේලු” යන පුවත විසින්, රාවයේ වික්ටර් අයිවන් කෙරෙහි නොව 71 පොඩි අතුල කෙරෙහි යම් ආදරයක් උපදවන ලදී. සන්නද්ධ අරගලය සම්බන්ධ යෞවන ප්‍රහර්ෂය තුල, ඒ දේශපාලන ප්‍රවාදයන්ගේ, වීරත්වය ගැබ්ව තිබිණි. අනෙක් අතට, සහෝදරයා යන ආමන්ත්‍රණය නැතත්, ‘මිනිහා’ යන යෙදුම තුල, එකී ගෞරවාදරය අයත් වන්නේ අතීතයට පමණ ය යන හැඟවුම ද විය.

‘ඇත්ත’ පත්තරයෙන් ඉස්මතු වූ මෙරට විකල්ප පුවත්පත් කලාව, ජනතා විමුක්ති පෙරමුණේ සේයාව මත යළි ගොඩ නැගෙන්නට පටන් ගත්තේ රාවය හරහා ය. ජවිපෙ අතීත නායකයකු වූ පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් ප්‍රධාන සංස්කාරකත්වය දැරූ රාවය, (මිතුරු හෝ පසමිතුරු අර්ථයෙන්) ජවිපෙ සේයාව මත උපන්නේය. එය සඟරාවේ සිට පත්තරය දක්වා එන විට, (අත් අකුරින් නිමැවුණ) එහි ලෝගෝව පවා නියෝජනය කළේ ජවිපෙ ප්‍රචාරක සංස්කෘතිය මිස අන් යමක් නොවේ. එහෙත් එය කිසිදා ජවිපෙ ප්‍රකාශනයක් වූයේ නැත. යටිබිම්ගත ජවිපෙ කේඩරයට විටින් විට මඳක් ළං වී ඈත් වූවා පමණි.

අත්තනෝමතික ජේ ආර්ගෙන් අනුප්‍රාප්තිකව ප්‍රේමදාස පාලනයට විරුද්ධ ස්ථාවරයක රාවය සිටිය ද, ප්‍රේමදාස පරදවා (ජේ ආර් ආණ්ඩුවේ ජාතික ආරක්ෂක අමාත්‍යව සිටි) ලලිත් ඇතුලත්මුදලි පාලනයකට රාවය සූදානම් වෙමින් සිටියේ ය. එහෙත් එවකට පැවති ඝාතන සංස්කෘතිය විසින් රාවය අවසානයේදී ගෙනැවිත් නතර කරන ලද්දේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පය පාමුල ය. 94 අගෝස්තුවේ මැතිවරණය මුව විට වන විට, අත ඔසවා ආචාර කරන චන්ද්‍රිකා රාවයේ මුල් පිටුවටම පැමිණියාය.

රාජ්‍ය මර්දනය හේතු කොටගෙන ජවිපෙ පසුබැස ගිය වකවානුවේ වික්ටර් අයිවන් මාධ්‍ය භූමිකාව, ජවිපෙට එතරම් සතුරු නොවන විවේචනාත්මක ආස්ථානයක රැඳුණද, ජවිපෙ නැග ආ හැම මොහොතකම වික්ටර් අයිවන් ඊට විරුද්ධ ආස්ථානයක සිටියේය. ඔහුගේ ලේඛනවල, රූපිකව පවා ජවිපෙ උත්කර්ෂයට නොනැඟීය. නිදසුනක් ලෙස, ජනතා විමුක්ති පෙරමුණ හෝ ජවිපෙ යන නාමකරණය වෙනුවට වික්ටර් අයිවන් යොදාගත්තේ, ජවිපෙරමුණ යන පදයයි. ඒ පදය, දේශපාලන ව්‍යාපාරයේ පෞරුෂය විදහා නොදක්වයි. එවැනි දේ හරහා වික්ටර් අයිවන් අතිශය සවිඥානික ලෙස ජවිපෙට එරෙහිව භාෂාව යොදාගත් බව, ලියුම්කරුගේ නිරීක්ෂණයයි.

එජාප ශ්‍රීලනිප පක්ෂ දෙකට සෘජුව සහයෝගය නොදක්වන, ජවිපෙ විවේචනය කරන සියලු කොටස් රාවයේ සෙවන යටට එක යුගයක ගෙන එන්නට වික්ටර් අයිවන් සමත් විය. එතෙකින් නොනැවතී, ඉතා සියුම් ලෙස, ඒ පක්ෂ දෙක කරා, ඔවුන්ව, වරින් වර, ක්‍රමානුකූලව රැගෙන යන්නට ද වික්ටර් අයිවන් සමත් විය. ඊට අවශ්‍ය න්‍යායික හා මතවාදී පසුබිම වික්ටර් අයිවන් මනා ලෙස ගොඩ නැගුවේ ය. (ඒ මධ්‍යම පාන්තික ලේඛක පාඨක වළල්ල රාවයේ පැවැත්ම වෙනුවෙන් රාවයේ අවසානය දක්වාම රැඳී සිටියේ ය.)

ඒ ක්‍රියාදාමය මැද, සංශෝධනවාදී මාධ්‍ය අරගලයන් වෙත රාවය පෙරළිකාර ලෙස නායකත්වය දුන්නේ ය. එවකට එජාප ආණ්ඩුවේ ඒකාධිපතීත්වයට එරෙහිව රාවය පළමු පිටුවේ යෝධ අකුරින්, ‘කැතයි ලැජ්ජයි නින්දිතයි!’ යනුවෙන් සටහන් විය. අධිකරණ ස්වාධීනත්වයේ ඉරණම කියා පෑම උදෙසා, චන්ද්‍රිකා ආණ්ඩුවේ අග විනිසුරු පත් කිරීමේ ඡායාරූපය ඔළුවෙන් හිටෙව්වේ වික්ටර් අයිවන්ය. ඒවා, ශ්‍රී ලංකාවේ පත්තර කලාවේ දෘෂ්‍ය දේශපාලනයේ දැවැන්ත විරෝධතාවන්ය. අධිකරණ ස්වාධීනත්වය, ප්‍රභූ තන්ත්‍රයේ චෞරත්වය පිටු දැකීම ආදී කලාපවල, තමන්ගේම සීමාවන්ට යටත්ව වුව වික්ටර් අයිවන් මුළු වෙර යොදා පොර බැදුවේ ය. ඒ පොරබැදීම් විසින්, විකල්ප පත්තර කලාවේ මෙන්ම විකල්ප දේශපාලනයේ ද තීරණාත්මක මායිම් සලකුණු කරන ලදී. ඒවා ඉවත් කර ඉතිහාසය ලිවිය නොහේ. ජාතික හා විකල්ප යන පුවත්පත් ධාරා දෙකටම රාවය බලපෑවේය. විශේෂයෙන්ම කලා සංස්කෘතික විචාරයේදී රාවයේ භූමිකාව ප්‍රශස්ත එකකි. ජවිපෙ ආභාසය සහිත විකල්ප පත්තර කලාවද එයින් පෝෂණය නොවූයේ යැයි කිව නොහැකි ය.

කාලය ඉගිලෙයි. යුග වෙනස්කම් සිදු වෙයි. විකල්ප පත්තර, මාක්ස්වාදයේ එන අභාවයාගේ අභාවයට නිදසුනක් වී ඇත. නව මාධ්‍ය – සමාජ මාධ්‍ය පැමිණ ඇත. වික්ටර් අයිවන් විසින් සිය භාෂාවෙන් පවා පසුපසට ඇද දමනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණ, නව ජනතා ව්‍යාපාරයක් නිර්මාණය කර ආණ්ඩු බලය ලබාගෙන ඇත. වික්ටර් අයිවන් යෝජනා කළ දේශපාලන බලවේග පරාජය වී තිබේ. එහෙත් මේ ජයග්‍රහණ පිටුපස ‘පොඩි අතුල’ලාගේ කැපකිරීම් ද ස්ථිරවම තිබේ. ඉතිහාසය, සියල්ලන්ට හිමි ගෞරවය නිසි මාත්‍රාවෙන් බෙදා දෙනු ඇත.

– විමල් කැටිපෙආරච්චි –

(පින්තූරය ලෙස ඇත්තේ, වික්ටර් අයිවන් මහතාගේ අභාවයට ශෝකය පළ කරමින් සංජය ඈපා සෙනෙවිරත්න සොයුරා අතින් නිමවූ අතිශය අධ්‍යාපනික සංකේතාත්මක නිර්මාණයයි)

විශේෂාංග

චීනයේ “Ne Zha 2”, වැඩිම ආදායම් ලැබූ සජීවීකරණ චිත්‍රපටය වෙයි

Published

on

By

පසුගියදා අතිජනප්‍රියත්වයට පත්වූ  චීනයේ න’ ජා 2 (Ne Zha 2) චිත්‍රපටය මේ වන විට වාර්තා පිට වාර්තා තබමින් සිටියි.

මෙතෙක් ඉතිහාසයේ වැඩිම ආදායම් ලැබූ සජීවීකරණ චිත්‍රපටය බවට පත්වීමටද Ne Zha 2 ඊයේ (18) සමත්විය.

ඒ, ඩිස්නි සමාගමේ ‘ඉන්සයිඩ් අවුට් 2’ (Inside Out 2) චිත්‍රපටයද අභිබවා යමිනි.

Ne Zha 2 මේ ජයග්‍රහණය ලැබුවේ චිත්‍රපටය තිරගත වී දින 20කට පසුව හා ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළම 10 දෙනා අතරට එක්වී දිනකට පසුවයි.

ජනවාරි 29දා උදාවූ චීන අලුත් අවුරුදු දිනයේදී තිරගත වූ මෙම චිත්‍රපටය ලද ආදායම, පෙබරවාරි 18 සවස වන විට පූර්ව අලෙවිය ද ඇතුළුව, යුවාන් බිලියන 12.319ක් (ඇ.ඩො බිලියන 1.72 ) පමණ ඉක්මවා ගොස් තිබේ.

Continue Reading

විශේෂාංග

වැලන්ටයින් කථා වස්තුව

Published

on

By

අද (14) “ආදරවන්තයින්ගේ දිනය”යි

සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය හෙවත් වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය ලොව පුරා බොහෝ රටවල ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඉහළින් සමරති.

ආදරවන්තයින්ගේ දිනය  හෙවත් වැලන්ටයින් දිනය  ලෙස කියලා අපි මේ වෙනකොට සමරන්නේ සම්පූර්ණයෙන්ම වාණිජකරණයට ලක් වුණු උත්සවයක්. ඒත් වැලන්ටයින් ඉතිහාසය සම්පූර්ණයෙන්ම ආදරණීය සහ ආගමික සැමරුමකි.

ප්‍රසිද්ධ සාන්තුවරයෙකු ගේ නමින් වැලන්ටයින් දිනය හඳුන්වනු ලැබේ.

කවුද මේ ශාන්ත වැලන්ටයින්?

වැලන්ටයින් සාන්තුවරයා කවුරුන්ද යන්න පිළිබඳ විවිධ මත පවතියි.

වැලන්ටයින් සාන්තුවරයා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ රෝමයේ විසූ පූජකයකු බව ඒ අතුරින් ප්‍රසිද්ධ මතයකි.

විවාහක පුරුෂයින්ට දක්ෂ සොල්දාදුවන් විය නොහැකි බවට පැවති විශ්වාසය හේතුවෙන් දෙවන ක්ලෝඩියස් අධිරාජයා විසින් විවාහය තහනම් කර තිබේ.

අධිරාජයා ගත් ක්‍රියාමාර්ගය අසාධාරණ යැයි හැඟුණු වැලන්ටයින් පූජකතුමා නීතිය බිඳ දමා යුග දිවියට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් රහසින් විවාහ කිරීමට කටයුතු කළ බව පැවසේ.

ඒ බව දැනගත් ක්ලෝඩියස් අධිරාජයා වැලන්ටයින් පූජකතුමා සිරගත කොට ඔහුට මරණ දඬුවම ලබා දීමට නියෝග කළේය.

සිරගත කෙරුණු වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාර ප්‍රධාන ආරක්ෂකයාගේ දියණිය සමග ප්‍රේමයෙන් බැඳුන බව සඳහන්ය.

පෙබරවාරි 14 වෙනි දින මරා දැමීමට නියම වූ ඔහු ඊට පෙර සිය ආදරවන්තිය වෙත පෙම් හසුනක් ලියූ අතර එය අවසන් කොට තිබුණේ “ඔබේ වැලන්ටයින් වෙතින්” යනුවෙනි.

ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ලොව පැරණිතම වැලන්ටයින් පණිවුඩය (ක්‍රිස්තු පූර්ව 1477)

වැලන්ටයින් දිනය ආරම්භ වූයේ කෙසේද?

රෝමයේ පැවති පෞරාණික සැණකෙළියකින් පැවත එන බවට විශ්වාස කෙරෙන වැලන්ටයින් දිනයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ.

වසන්තයේ උදාව සනිටුහන් කරමින් රෝමානුවෝ පෙබරවාරි මස මැද භාගයේ ලුපකාලියා නමැති සැණකෙළිය සමරති.

සැණකෙළියේ එක් අංගයක් වශයෙන් පෙට්ටියක් තුළ බහාලූ තරුණියන්ගේ නම් සහිත කුසපත් තරුණයන් විසින් තෝරා ගනු ලබන බව පැවසේ. සැණකෙළි සමය අවසන්වන තෙක් ආදරවන්තයින් ලෙස හැසිරෙන ඔවුන්ගෙන් ඇතැමෙක් විවාපත් වූහ.

එසේම වැලන්ටයින් සාන්තුවරයා සිහිපත් කිරීම සඳහා පෙබරවාරි 14 වෙනිදා යොදා ගැනීමටත් සභාව තීන්දු කළේය.

ක්‍රමයෙන් තම ලබැඳියන්ට සෙනෙහස පළකිරීම සඳහා වැලන්ටයින් සාන්තුවරයාගේ නම යොදා ගැනීමට ජනතාව හුරු වූහ. 

වැලන්ටයින් සුබපැතුම්පත 1909

Continue Reading

විශේෂාංග

අමෙරිකාවේ තීරණය ශ්‍රී ලංකාවට වාසියක්

Published

on

By

අමෙරිකා එක්සත් ජනපදය විසින් ගත් තීරණයක්, ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.

ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණයයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, මේ මස 24 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ගෙනආ යෝජනාවට අභියෝගයක් එල්ල කළ හැකි බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා,

“හැම අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ සහ හයිබ්‍රිඩ් අධිකරණයක් දාන්න ඕනේ වගේ යෝජනාවලට මුල පුරන්නේ අමෙරිකාව. ඒකට බටහිර රටවල් සහයෝගය දෙනවා. මූලිකම දේ… අමෙරිකාව මේ තුළින් ඉවත්වීම මත අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා.. ඉදිරියේදී අපි කරන මානව හිමිකම් සැලැස්ම… දේශීය සැලැස්ම අපිට තනියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ජපානය වගේ රටවල සහාය ගත්තොත් අර කලින් ගෙනා ලංකාවට එරෙහි යෝජනාව අබිබවා යන්න පුළුවන්.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved